SIR ARTHUR CONAN DOYLE
The Red Headed
League
(August 1891)
පරිවර්තනය
මෙතෝරියන් කණ්ඩායම
© 2026 Supunpriya Methmal.
All rights reserved.
The Sinhala translation rights of this work belong entirely to the translator. No part of this translation may be reproduced, distributed, digitized, transformed into audio/video formats, or transmitted in any form or by any means for commercial purposes without the prior written permission of the copyright owner.
© 2026 සුපුන්ප්රිය මෙත්මාල්.
සියලුම හිමිකම් ඇවිරිණි.
මෙම කෘතියේ සිංහල පරිවර්තන අයිතිය සම්පූර්ණයෙන්ම කතෘ සතුය. කතෘගේ හෝ ප්රකාශකයාගේ ලිඛිත අවසරයකින් තොරව මෙම පරිවර්තනය උපුටා ගැනීම, වෙනත් ඩිජිටල් මාධ්‍යයකට නැගීම, ප්රතිනිෂ්පාදනය කිරීම හෝ වාණිජ අරමුණු උදෙසා මුද්‍රණය කර බෙදාහැරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
Page 03
පසුගිය වසරේ සරත් සෘතුවේ එක් දිනක, මම මගේ මිත්‍ර ෂර්ලොක් හෝම්ස් හමුවීමට ගියෙමි. මා යන විට ඔහු, ඉතා තරබාරු, රත් පැහැ මුහුණක් සහ ගිනි සිළු මෙන් රතු පැහැති හිසකෙස් ඇති තරබාරු වයසක මහත්මයෙකු සමඟ ගැඹුරැ කතාබහක නිරතව සිටියේය. මගේ බාධා කිරීම පිළිබඳව සමාව අයැද මා ආපසු යන්නට සැරසෙද්දී, හෝම්ස් හදිසියේම මාව කාමරය තුළට ඇදගෙන මා පිටුපසින් දොර වසා දැමුවේය.
“මගේ හිතවත් වොට්සන්, ඔබට මීට වඩා හොඳ වෙලාවක එන්න හම්බවෙන්නේ නෑ.” ඔහු ඉතා සුහදව පැවසීය.
“මම හිතුවෙ ඔබ ගොඩක් කාර්යබහුලයි කියලයි.”
“ඔව්. ගොඩක් කාර්යබහුලයි.”
“එහෙනම් මම අනිත් කාමරේට වෙලා ඉන්නම්.”
“කොහොමටවත් එපා. විල්සන් මහත්මයා, මේ ඉන්නේ මගේ පරීක්ෂණ වලදී මට සහය වන වෘත්තීය සහායකයා වගේම හවුල්කාරයා වන වොට්සන් දොස්තර මහත්මයා. ඉතින් මට සැකයක් නෑ ඔබේ වැඩේදීත් ඔහු මට ලොකු උදව්වක් වෙයි.”
අර තරබාරු මහතා පුටුවෙන් අඩක් නැගිට, හිස නමා ආචාර කළ අතර, තරබාරුකම නිසාම කුඩාවට පෙනෙන දෑසින් මා දෙස විමසිලිමත් බැල්මක් හෙළුවේය.
“අර සෝපාවේ වාඩි වෙන්න දොස්තර මහත්මයා.” හෝම්ස් පැවසීය.
ඔහු නැවතත් තම පුටුවට බර වී, යම් විනිශ්චයකට එළඹෙන විට ඔහු පුරුද්දක් ලෙස කරන පරිදි, තම දෑතේ ඇඟිලි තුඩු එකිනෙක යා කරගත්තේය.
“මම දන්නවා වොට්සන්. එදිනෙදා ජීවිතේ සිදුවන සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් තරමක් අසාමාන්‍ය දේවල් වලට ඔබත් මා වගේම කැමතියි කියලා. මගේ පොඩි පොඩි වික්‍රමාන්විතයන් ගැන ඔබ ලියපු සටහන් වලින් වගේම, අ…මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා, ඔබ ඒවාට එකතු කරපු පොඩි පොඩි අලංකාර කිරීම් වලිනුත් ඔබේ ඒ උනන්දුව මට හොදින්ම පෙනුණා.”
“ඔබේ පරීක්ෂණ ගැන ඇත්තටම මට ලොකු උනන්දුවක් තියෙනවා.” මම කීවෙමි.
“ඔබට මතක ඇතිනේ අර මේරි සදර්ලන්ඩ් මෙනෙවියගේ ගැටලුව විසඳන්න කලින් දවසක මම කිව්වා, පුදුමාකාර ලෙස සිදුවන සිදුවීම් සහ අත්භූත ආකාරයට සිදුවන සිදුවීම් හොයාගන්න නම් අපිට මිනිසුන්ගේ සැබෑ ජීවිතය දිහාම බලන්න ඕන කියලා. මොකද අපි මවාගන්න ඕනම දේකට වඩා සැබෑ ජීවිතේ හරිම විස්මිතයි.”
“ඒ වුණත් ඔබේ ඔය අදහසට මම එකගවුණේ නැ.”
Page 04
“ඔව් දොස්තර මහත්මයා, ඔබ එකගවුණේ නැ තමයි. ඒත් මේ කතාව අහලා බලන්නකෝ. දැන් මේ ජේබ්ස් විල්සන් මහත්තයා අද උදේ මාව හම්බවෙන්න ආවේ මම මේ ළඟදි අහපු පුදුමාකාරම කතාවක් කියන්න පටන් ගන්න. ඔබ අහලා තියෙනවනේ මම කියනවා, ගොඩක් වෙලාවට අබිරහස් ලෙස විස්මයජනක ආකාරයකින් සිදුවුණු සිද්ධීන් සම්බන්ධ වෙන්නේ ලොකු අපරාධ එක්ක නෙමෙයි, පොඩි පොඩි අපරාධ එක්ක කියලා. සමහර වෙලාවට ඇත්තටම එතන අපරාධයක් සිද්ධ වුණාද කියලත් සැක හිතෙනවා. මම මේ තාක් අහපු දේවල් එක්ක මේ සිදුවීම අපරාධයක්ද නැද්ද කියන්න මට තවම බැහැ. ඒත් සිද්ධ වෙලා තියෙන දේවල් නම් මට අහන්න ලැබුණු පුදුමාකාරම ඒවා.
විල්සන් මහත්මයා, ඔබට පුළුවන්ද කතාව ආපහු මුල ඉඳන් කියන්න පටන්ගන්න. මම එහෙම අහන්නේ මගේ මිතයා දොස්තර වොට්සන් මේකේ මුල කොටස අහපු නැති නිසා විතරක්ම නෙමෙයි, මේ කතාවේ තියෙන අසාමාන්‍ය ස්වභාවය නිසා මට ඕන හැම විස්තරයක්ම ඔබේ කටින්ම දැනගන්න. සාමාන්‍යයෙන් මට සිද්ධිය ගැන පොඩි හෝඩුවාවක් ලැබුණම මගේ මතකයේ තියෙන ඒ වගේ දහස් ගණන් පරීක්ෂණ එක්ක ගළපලා මට යන්න ඔන පාර හොයාගන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ මට පිළිගන්න වෙනවා, මම දන්න තරමින් මේ කතාව නම් බොහොම අසාමාන්‍ය කතාවක්.”
එම තරබාරු සේවාදායකයා සිටියේ තම පපුව පුම්බාගෙන තරමක ආඩම්බරයකින් යුතුවයි. ඉන්පසු ඔහු ඔහුගේ කබායේ ඇතුළත සාක්කුවෙන් කිලිටි වී පොඩි වී ගිය පුවත්පතක් එළියට ගත්තේය. ඔහු තම හිස ඉදිරියට නමා, දණහිස මත පුවත්පත දිගහැරගෙන එහි දැන්වීම් තීරුව පරීක්ෂා කරද්දී, මම ඔහු දෙස හොඳින් බැලුවෙමි. මගේ මිත්‍රයා කරන ආකාරයටම, ඔහුගේ ඇඳුමෙන් හෝ පෙනුමෙන් යම් හෝඩුවාවක් කියවාගත හැකිදැයි මම උත්සාහ කළෙමි.
කෙසේ වෙතත්, මගේ පරීක්ෂාවෙන් සැළකිය යුතු තරම් දෙයක් සොයාගැනීමට මට නොහැකි විය. මට සිතාගත හැකිවූයේ, ඔහු මුළු එංගලන්තය පුරාම අඩුවක් නැතිව දක්නට ලැබෙන ආකාරයේ, තරබාරු, පුරසාරම් දොඩවන කම්මැලි එහෙත් තරමක් උඩගු සාමාන්‍ය වෙළෙන්දෙක් බවයි. ඔහු ඇඳ සිටියේ තරමක් බුරුල් ෂෙපර්ඩ් චෙක් මෝස්තරයේ අළු පැහැති කොටු වැටුණු කලිසමක් සහ එතරම් පිරිසිදු නොවන, ඉදිරිපස බොත්තම් නොදැමූ කළු පැහැති ෆ්‍රොක් කබායකි. එමෙන්ම ඝනකම් පිත්තල පැහැති ඇල්බට් වර්ගයේ දම්වැලක් සහ එහි එල්ලෙන විදින ලද හතරැස් ලෝහ කැබැල්ලක් සහිත අඳුරු පැහැති ඉණ කබායක් ද ඔහු ඇඳ සිටියේය. දාර කැඩුණු ටොප් හැට් වර්ගයේ උස් තොප්පියක් සහ රැළි වැටුණු වෙල්වට් කරපටියක් සහිත දුර්වර්ණ වූ දුඹුරු පැහැති කබායක් ඔහු අසල වූ පුටුව මත විය. සමස්තයක් ලෙස කොතරම් බැලුවත්, ඔහුගේ ගිනි රතු පැහැයට හුරැ හිසකෙස් සහ මුහුණේ ඇඳී තිබූ බලවත් කනගාටුව හා නොසන්සුන් බව හැරෙන්නට, ඔහු තුළ කිසිදු විශේෂත්වයක් දැකගත නොහැකි විය. ෂර්ලොක් හෝම්ස්ගේ තියුණු දෑස්වලට මා කරමින් සිටි කාර්යය හසුවුණී. මගේ ප්‍රශ්නාර්ථ බැල්ම දුටු ඔහු සිනාසනේනට විය. විල්සන් මහතා තවමත් සිටියේ පුවත්පත දෙස බලාගත් ගමන්ය.
Page 05
“ඔහු කලකට ඉහතදී මහන්සි වෙලා කරන රස්සාවක් කරලා තියෙනවා, ඒ වගේම පුරැද්දට වගේ නිතර නාසයට දුම් කුඩු උරනවා. ඔහු ෆ්‍රීමේසන් සංගමයේ සාමාජිකයෙක්. ඔහු චීනෙට ගිහින් තියෙනවා. ඒ වගේම ළඟකදී ඉඳන් ඔහු විශාල වශයෙන් ලිවීමේ කටයුත්තක නිරතවෙමින් ඉදලා තියෙනවා. ඒ කරුණු ඇරෙන්න මට වෙන යමක් කියන්න අමාරැයි.”
ජේබ්ස් විල්සන් මහතා එක්වරම පුටුවෙන් නැගී සිටියේය. ඔහුගේ දබරැඟිල්ල පුවත්පත මත තිබුණද, දෑස් යොමුවී තිබුණේ මගේ මිත්‍රයා වෙතය.
“දෙවියන්ගේ නාමයෙන් කියන්න හෝම්ස් මහත්මයා, ඔබ කොහොමද ඒ ඔක්කොම දන්නේ?” ඔහු ඇසුවේය.
“මම කලකට ඉහතදි මහන්සි වෙලා වැඩ කරපු බව නම් ඇත්තම ඇත්ත. මොකද මම වැඩ කරන්න පටන් ගත්තේ නැවක වඩුවෙක් විදිහට. ඒත් ඔබ කොහොමද මේ දේවල් දන්නේ.”
“මං ඒ බව දැනගත්ගේ ඔබේ දෑත් වලින් මහත්මයා. ඔබේ වම් අතට වඩා දකුණු අත තරමක් ලොකුයි. ඒ කියන්නේ ඔබ ඒ අතින් වැඩියෙන් වැඩ කරලා තියෙන නිසා එහි මාංශ පේශි හොඳට වර්ධනය වෙලා.”
“හොදයි. එතකොට අර දුම්කුඩු උරන එකයි ෆ්‍රීමේසන් සංගමයේ සාමාජිකයෙකු බවයි දන්නේ කොහොමද?”
“මම ඒක දැනගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න ගිහින් ඔබේ බුද්ධියට අපහාස කරන්න මං කැමති නෑ. ඔබේ සංගමයේ නීති වලට විරුද්ධ වුණත්, ඔබ ඔය පැළදසිටින ටයිකටුවේ කවකටුවයි මේසන් කොදුවේ පින් එකක් ගහගෙන ඉන්න එකෙනුයි ඔබ ඒ සංගමයේ සාමාජිකයෙක් බව පැහැදිලියිනේ.”
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01
Page 01

