SIR ARTHUR CONAN DOYLE
A Scandal in
Bohemia
(July 1891)
පරිවර්තනය
මෙතෝරියන් කණ්ඩායම
© 2026 Supunpriya Methmal
All rights reserved
The Sinhala translation rights of this work belong entirely to the translator. No part of this translation may be reproduced, distributed, digitized, transformed into audio/video formats, or transmitted in any form or by any means for commercial purposes without the prior written permission of the copyright owner.
© 2026 සුපුන්ප්රිය මෙත්මාල්
සියලුම හිමිකම් ඇවිරිණි
මෙම කෘතියේ සිංහල පරිවර්තන අයිතිය සම්පූර්ණයෙන්ම කතෘ සතුය. කතෘගේ හෝ ප්රකාශකයාගේ ලිඛිත අවසරයකින් තොරව මෙම පරිවර්තනය උපුටා ගැනීම, වෙනත් ඩිජිටල් මාධ්‍යයකට නැගීම, ප්රතිනිෂ්පාදනය කිරීම හෝ වාණිජ අරමුණු උදෙසා මුද්‍රණය කර බෙදාහැරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
Page 03
ෂර්ලොක් හෝම්ස්ට අනුව නම් ඇය සැමවිටම ඒ කාන්තාව විය. වෙනත් නමකින් ඔහු ඇය ගැන සඳහන් කරනවා නම් මා අසා තිබුණේ ඉතාම කලාතුරකිනි. ඔහුගේ දෑස් අනුව, ඇය සමස්ත කාන්තා වර්ගයාම අභිබවා යමින් සිටි තැනැත්තියකි.
එයින් අදහස් වන්නේ ඔහු අයිරින් ඇඩ්ලර් කෙරෙහි ආදරය වැනි හැඟීමකින් බැඳී සිටි බව නම් නොවේ. ආදරය වැනි හැගීම්, ඔහුගේ ඒ නිවැරදි සහ මනාව සමබර ලෙස සකසාගත් මනසට කිසිසේත්ම රිසි වූයේ නැත. මගේ අදහසට අනුව ඔහු ලෝකයේ පහළ වූ විශිෂ්ටතම තර්ක කිරීමේ සහ නිරීක්ෂණය කිරීමේ යන්ත්‍රයයි; නමුත් ඔහු පෙම්වතෙක් වූවා නම්, එය ඔහුට කොහෙත්ම නොගැලපෙන තත්ත්වයක් වනු ඇත. ආදරය වැනි මෘදු හැඟීම් ගැන ඔහු කතා කළේ ද, උපහාසයෙන් සිනාසෙමින් පමණි.
නිරීක්ෂකයෙකුට නම් එවැනි හැඟීම් ඉතා වටිනා දේවල්ය; මන්ද මිනිසුන් සිතේ සඟවාගෙන සිටින සැබෑ අරමුණු එළියට ඇද ගැනීමට ඒ හැඟීම් උදව් වන බැවිනි. නමුත් හෝම්ස් වැනි තර්ක බුද්ධියෙන් කටයුතු කරන පුද්ගලයෙකු, තමන්ගේ සියුම් මනසට මෙවැනි හැඟීම් ඇතුළු කර ගැනීම භයානක ය. එය හරියට ඉතා සංවේදී උපකරණයක් ඇතුළට වැලි කැටයක් ගියා වැනි හෝ එසේත් නැත්නම් ඔහුගේ බලගතු කාචයක් ඉරිතලා ගියා වැනි දෙයකි. එවැනි ප්‍රබල හැඟීමක් ඔහුගේ සිතට ඇතුළු වුවහොත්, ඔහු ගන්නා තීරණ ගැන පවා ඔහුට සැක සිතිය හැකිය.
ඒ කෙසේ වුවත්, ඔහුට සිටියේ එකම එක කාන්තාවකි. ඒ කාන්තාව නම්, සැක සහිත සහ ආන්දෝලනාත්මක මතකයන් ඉතිරි කර ගිය, දිවංගත අයිරින් ඇඩ්ලර්ය. මෑතක සිටම මට හෝම්ස්ව මුණගැසුණේ ඉතා කලාතුරකිනි. මගේ විවාහයත් සමඟ අපි දෙදෙනා තරමක් දුරස් වී සිටියෙමු. තමන්ගේම නිවසක මූලිකයා වූ විට දැනෙන ඒ පූර්ණ සතුටත්, ගෘහ ජීවිතය වටා ගොඩනැගුණු බැඳීම් නිසාත් මගේ මුළු අවධානයම ඒ වෙනුවෙන් යොමු වී තිබුණි.
මේ අතර, සමාජ ඇසුර සහ සාමාන්‍ය සම්ප්‍රදායන් පිළිකුල් කළ හෝම්ස්, ඔහුගේ ඒ නිදහස් බොහීමියානු ජීවන රටාවත් සමඟ බේකර් වීදියේ අපගේ පැරණි නවාතැනේම රැඳී සිටියේය. පරණ පොත් ගොඩවල් අතර තනිවූ ඔහු, සතියෙන් සතිය වෙනස් වන චරිතයක් විය. එක් සතියකදී අලසව නිදා සිටින ඔහු, ඊළඟ සතියේදී තමන්ගේ සහජ අසීමිත ජවයෙන් ක්‍රියාත්මක වෙමින් මහත් ආසාවෙන් අපරාධ විමර්ශනයේ යෙදෙයි. පොලිසිය විසින් විසඳාගත නොහැකි යැයි සිතා අතහැර දැමූ අබිරහස් විසඳීම සඳහා, ඔහු තම අසීමිත බුද්ධියත්, පුදුම සහගත නිරීක්ෂණ කිරීමේ හැකියාවත් යොදවමින් සිටියේය.
Page 04
කලින් කලට ඔහු ගැන යම් යම් තොරතුරු මගේ සවන් වැකුණි. ඔඩෙස්සා නුවර ට්‍රෙපොෆ් ඝාතනය සම්බන්ධයෙන් ඔහු කැඳවූ බවත්, ත්‍රිකුණාමලයේ ඇට්කින්සන් සහෝදරයන්ගේ අමුතු ඛේදවාචකය ඔහු විසින් විසඳූ බවත් මට දැනගන්නට ලැබිණි. අවසාන වශයෙන් ඕලන්දයේ රාජකීය පවුල වෙනුවෙන් ඔහු ඉතා රහසිගත සාර්ථක මෙහෙයුමක් සිදු කර තිබුණි. දිනපතා පුවත්පත්වල පළවන මෙවැනි තොරතුරැ හැරෙන්නට, මගේ පැරණි මිත්‍රයා ගැන වැඩි විස්තරයක් මම දැන සිටියේ නැත.
ඒ 1888 මාර්තු 20 වැනිදා රාත්‍රි කාලයයි. රෝගියෙකු බලා ආපසු එමින් සිටියදී මගේ ගමන් මග වැටී තිබුණේ බේකර් වීදිය හරහා ය. මගේ විවාහ ජීවිතයට මඟ පෑදූ සිදුවීම් සහ ලෝහිත පරීක්ෂණය හා බැඳුණු අඳුරු මතකයන් යළිත් මට සිහිගන්වන, මට හොඳින් හුරු පුරුදු ඒ දොරකඩ පසුකර යන විට, මට හෝම්ස්ව නැවත වරක් දැක ගැනීමට දැඩි ආසාවක් ඇති විය. ඔහු ඔහුගේ අසාමාන්‍ය හැකියාවන් මේ දිනවල යොදවමින් සිටින්නේ කුමක් සඳහාදැයි දැනගැනීමට මට වුවමනා විය. ඔහුගේ කාමරයේ විදුලි පහන් දීප්තිමත්ව දැල්වෙමින් තිබිණි. මා ඉහළ බැලූ විට දුටුවේ, ජනේල තිරය මත වැටුණු ඔහුගේ උස, සිහින් සිරුරේ සෙවනැල්ල දෙවරක්ම එහා මෙහා යන ආකාරයයි. හිස පපුව මතට නමාගෙන, දෑත් පිටුපසට බැඳගෙන සිටි ඔහු, ඉතා වේගයෙන් සහ උනන්දුවෙන් කාමරය තුළ එහා මෙහා ඇවිද යමින් සිටියේය.
ඔහුගේ සෑම පුරුද්දක්ම සහ ඔහුගේ ස්වභාවයන් ගැන හොඳින් දන්නා මට, ඔහුගේ එම ඉරියව්වෙන්ම සිදුවන්නේ කුමක්දැයි වටහා ගත හැකි විය. ඔහු නැවතත් වැඩ පටන්ගෙන තිබිණි. මත්ද්‍රව්‍ය මගින් මවාගත් සිහින ලොවෙන් මිදී සිටි ඔහු, යම්කිසි අලුත් ගැටලුවක උණුසුම් හෝඩුවාවක් පසුපස හඹා යමින් සිටියේය. මම සීනුව නාද කළෙමි. කලින් මගේද නිවහන වී තිබූ ඒ කාමරය වෙත මාව කැඳවාගෙන යනු ලැබීය.
ඔහු මා පිළිගත්තේ එතරම් උද්‍යෝගී බවක් පෙන්නුම් කරමින් නොවේ. එය ඔහුගේ සාමාන්‍ය ස්වභාවයයි. නමුත් මා දැකීමෙන් ඔහු සතුටු වූ බව මට සිතිණි. වචනයක්වත් කතා නොකළ ඔහු, මිත්‍රශීලී බැල්මකින් ගිනිඋදුන අසළ වූ සුවපහසු අසුන පෙන්වූ අතර, ඔහුගේ සුරුට්ටු පසුම්බිය මා දෙසට විසි කළේය. ඉන්පසු ඔහු කාමරයේ මුල්ලේ තිබූ මධ්‍යසාර සහ සෝඩා සාදන උපකරණය දෙසට අත දිගු කළේය.
Page 05
අනතුරුව ගිනි උදුන ඉදිරිපිට සිටගත් ඔහු, තමාටම ආවේණික වූ ඒ විමර්ශනශීලී බැල්මෙන්, හිසේ සිට දෙපතුල දක්වාම මා දෙස සුපරීක්ෂාවෙන් බැලුවේය.
‘විවාහ ජීවිතේ ඔබට හොඳට ගැලපෙනවා වගේ වොට්සන්’ ඔහු කීවේය. ‘මම හිතන්නේ මම අන්තිමට ඔබව දැක්කට පස්සේ ඔබ රාත්තල් හතහමාරක් විතර මහත් වෙලා.’
‘රාත්තල් හතයි!’ මම පිළිතුරු දුන්නෙමි.
‘ඇත්තටම? මම හිතුවේ ඊට ටිකක් වැඩියි කියලා. තව චුට්ටක් වැඩියි වගේ මට පෙනුණේ වොට්සන්. ඒ වගේම මට පේනවා ඔබ ආපහු වෛද්‍ය වෘත්තිය පටන් අරන් වගේ. ඔබ මට කිව්වේ නෑනේ ආපහු වැඩට බහින්න අදහසක් තියෙනවා කියලා.’
‘එහෙනම් කොහොමද ඔබ ඒක දැනගත්තේ?’
‘මම දකින දේවල්වලින් මම නිගමනය කරනවා. මම කොහොමද දන්නේ ඔබ ළඟදී දවසක හොඳටම තෙමිලා තියෙනවා කියලත්, ඔබට ඉන්නේ හරිම නොසැලකිලිමත් කම්මැලි මෙහෙකාරියක් කියලත්?’
‘මගේ හිතවත් හෝම්ස්,’ මම කීවෙමි. ‘මේක නම් මහ පුදුමයක්. මීට සියවස් ගණනකට කලින් ඔබ ජීවත් වුණා නම් මිනිස්සු ඔබව මායාකාරයෙක් කියලා පුච්චලා මරනවා සිකුරුයි. බ්‍රහස්පතින්දා මම ගම්බද පැත්තෙ ඇවිදින්න ගිහිල්ලා මඩ නාගෙන ගෙදර ආපු බව ඇත්ත. හැබැයි මම ඇඳුම් ඒ ඇදගෙන ගියපු ඇදුම් මාරු කළානේ, ඉතින් මට හිතාගන්නවත් බැහැ කොහොමද ඔබ ඒක හොයාගත්තේ කියලා. වැඩකාර කෙල්ල මේරි ජේන් ගැන කියනවා නම්, ඇය නම් කවදාවත් හැදෙන්නෙ නැති කෙල්ලෙක්. මගේ බිරිඳ ඇයට අයින් වෙන්න කියල කියලයි තියෙන්නේ. ඒත් මට තාම හිතාගන්න බැහැ ඔබ කොහොමද මේ දේවල් හරියටම කියන්නේ කියලා.’
ඔහු තනිවම සිනාසෙමින්, තමාගේ දිගු, නොසන්සුන් දෑත් එකිනෙක ඇතිල්ලුවේය.
“ඒක හරිම සරල දෙයක්” ඔහු පැවසුවේය. “ගිනිඋදුනෙන් වැටෙන එළියෙන් මට පේනවා ඔබේ වම් සපත්තුවේ ඇතුල් පැත්තේ, සමාන්තරව වැදුණු සීරීම් පාරවල් හයක් තියෙනවා. පැහැදිලිවම මේ සීරීම් පාරවල් හිටලා තියෙන්නේ, සපත්තුවේ අඩියේ වේලිලා තිබුණු මඩ කෑලි අයින් කරන්න ගිහින් කවුරුහරි නොසැලකිලිමත් විදිහට හූරපු නිසා. ඒකෙන් ඔබට පේනවනේ, මම කරපු නිගමන දෙක. එකක් තමයි ඔබ අයහපත් කාලගුණයක් තියෙන වෙලාවක එළියේ ගිහින් තියෙනවා. අනිත් එක තමයි, සපත්තු හූරලා විනාශ කරන ජාතියේ, හරිම නොසැලකිලිමත් ලන්ඩන් මෙහෙකාරියක් ඔබට ඉන්නවා.
Page 06
ඔබේ වෛද්‍ය වෘත්තිය ගැන කිව්වොත්, මහත්මයෙක් මගේ කාමරයට ඇතුල් වුණා. ඔහු කාමරයට එද්දි ඔහු වෙතින් හමනවා අයඩොෆෝම් වල ගන්ධයක්. ඒ වගේම ඔහුගේ දකුණු අතේ දබර ඇඟිල්ලේ සිල්වර් නයිට්‍රේට් වලින් ඇතිවුණ පැල්ලමක් තියෙනවා. ඊළගට වෙද නලාව දාගෙන ආපු නිසා තොප්පිය දකුණු පැත්තෙන් ඉලිප්පිලත් පේනවා. ඒවා දැතලා ඔහු වෛද්‍යවරයෙක් කියලා අඳුරගන්න බැරි වුණොත් මම මෝඩයෙක් වෙන්න එපැය.”
ඔහු තමාගේ නිගමනවලට පැමිණි ආකාරය ඉතා සැහැල්ලුවෙන් විස්තර කළ අයුරු දුටු මට ඇතිවූ සිනහව නවතා ගැනීමට නොහැකි විය.
“ඔබ නිගමන වලට පැමිණි ආකාරය ගැන කරපු විස්තරේ අහගෙන ඉන්නකොට,” මම පැවසුවෙමි, “මට හිතුණා ඒක මට වුණත් ලේසියෙන් කරන්න පුළුවන්, හරිම සරල වැඩක්නේ කියලා. නමුත් ඔබ ඒ දේවල් විස්තර කරනකම් මට ඒක හිතාගන්නවත් බැරැව, මම පුදුම වෙලා හිටියේ. නමුත් මගේ ඇස් දෙකත් ඔබේ ඇස් දෙක තරම්ම හොඳයි කියලයි මට හිතෙන්නේ.”
“ඔව්. හරියටම හරි.” සිගරට්ටුවක් දල්වාගෙන පුටුවේ පිටුපසට හේත්තු වෙමින් ඔහු පිළිතුරු දුන්නේය. “ඔබ ඒ දේවල් දකිනවා, ඒත් ඔබ නිරීක්ෂණය කරන්නේ නැහැ. දකිනවා කියන එකයි නිරීක්ෂණය කරනවා කියන එකයි අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට, පහළ මහලේ ඉඳන් මේ කාමරයට එන පඩිපෙළ ඔබ කොච්චරවත් දැකලා ඇතිනේ.”
“ඔව්. ඕන තරම්.”
“කොච්චර විතරද?”
“ම්… සිය වාරයක් විතර ඇති.”
“එහෙනම් කියන්න බලන්න පඩිපෙළේ පඩි කීයක් තියෙනවද කියලා?”
Page 07
“පඩි කීයක්? ඒක නම් මම දන්නේ නෑ.”
“අන්න දැක්කද! ඔබ නිරීක්ෂණය කරලා නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවා. මම කියන්න හැදුවේ අන්න ඒකයි. හැබැයි මම දන්නවා ඒකේ පඩි දාහතක් තියෙනවා කියලා. මොකද මම දැකලත් තියෙනවා, මම නිරීක්ෂණය කරලත් තියෙනවා.
ඒක නෙවෙයි, ඔබ මේ වගේ පුංචි ගැටලු ගැන උනන්දුවක් දක්වන නිසාත්, මගේ මේ පොඩි පොඩි සිද්ධි වාර්තා කරන්න තරම් ඔබ කාරුණික වෙලා තියෙන නිසාත්, ඔබ මේකට කැමති වෙයි.”
ඔහු මේසය මත දිග හැර තිබූ ඝනකම්, රෝස පැහැයට හුරු ලියුම් කවරයක් මා වෙත විසි කළේය.
“ඕක අන්තිම තැපෑලෙන් ආවේ,” ඔහු කීවේය. “හයියෙන් කියවන්නකෝ.”
එම ලිපියේ දිනයක් හෝ, අත්සනක් හෝ ලිපිනයක් සටහන්ව තිබුණේ නැත.
අද රාත්‍රී අටට කාලක් (7:45) තිබිය දී, ඉතාම වැදගත් කාරණාවක් ගැන ඔබෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන මහත්මයෙක් ඔබව මුණගැසීමට පැමිණෙනු ඇත. මෑතකදී ඔබ යුරෝපයේ රාජකීය පවුලක් වෙනුවෙන් කළ සේවය නිසා, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වැදගත් රහස් කටයුතු සම්බන්ධයෙන් වුවත් ඔබ ගැන විශ්වාසය තැබිය හැකි බව තහවුරු වී ඇත. සෑම අංශයකින්ම අපට ඔබ ගැන අසන්න ලැබුණේ එවැනි විස්තරය. එමනිසා ඒ වෙලාවට ඔබ ඔබේ කාමරයට වී රැදී ඉන්න. පැමිණෙන අමුත්තා වෙස් මුහුණක් පැළද සිටියහොත් ඒ ගැන වැරදි වැටහීමක් ඇති කර නොගන්න.
‘මේක නම් ඇත්තටම අබිරහසක්නේ,’ මම කීවෙමි. ‘ඔබ හිතන්නේ මේකේ තේරුම මොකක් කියලද?’
‘මට තාම දත්ත ලැබිලා නෑ. දත්ත ලැබෙන්න කලින් මතයක් ගොඩනගන්න හදන එක ලොකු වැරැද්දක්. එහෙම කළාම වෙන්නේ, තියෙන ඇත්ත දත්තවලට අනුව මතය වෙනස් කරගන්නවා වෙනුවට, තමන් හදාගත්ත මතයට ගැලපෙන විදිහට දත්ත වෙනස් කරගන්න ඉබේම පෙළඹෙන එක. ඒක පැත්තකින් තියමුකෝ, දැන් ඔය ලිපිය ගැන මොකද කියන්නේ? ඔබ මොනවද ඒකෙන් නිගමනය කරන්නේ?’
Page 08
මම අකුරු ලියා ඇති ආකාරයත්, ඒය ලියා තිබූ කඩදාසියත් ඉතා පරෙස්සමින් පරීක්ෂා කර බැලුවෙමි.
‘මේක ලියපු මනුස්සයා නම් සෑහෙන ධනවතෙක් වෙන්න ඕන,’ මගේ මිත්‍රයාගේ ක්‍රමවේද අනුකරණය කිරීමට උත්සාහ කරමින් මම පැවසුවෙමි. ‘මේ වගේ කඩදාසි තියෙන කඩදාසි පැකට්ටුවක් ගන්න බැ ක්‍රවුන් භාගයකට අඩුවෙන් නම්. මේක හරිම ඝනකම කඩදාසියක්, ඒ වගේම හයියයි.’
‘ඔය කඩදාසි අමුතුයි. හෝම්ස් කීය. අන්න ඒක තමයි හරියටම ගැලපෙන වචනය. ඒ කියන්නේ මේක එංගලන්තේ හදපු කොළයක් නෙවෙයි. ඔය ගිනිඋදුනෙි එළියට අල්ලලා බලන්නකෝ.’
මම එසේ කළෙමි. එවිට එම කඩදාසියේ විශාල ‘E’ අකුරක්, කුඩා ‘g’ අකුරක්, ‘P’ අකුරක් සහ විශාල ‘G’ අකුරක් සමඟ කුඩා ‘t’ අකුරක් සටහන්ව තිබෙනු මම දුටුවෙමි.
‘මොකද හිතන්නේ ඒ ගැන?’ හෝම්ස් ඇසුවේය.
‘නිෂ්පාදකයාගේ නම වෙන්න ඇති. එහෙම නැත්නම් එයාලගේ ලාංඡනය වෙන්න ඕන.’
‘කොහෙත්ම නැහැ. ඔය ලොකු G අකුරයි පොඩි t අකුරයි පාවිච්චි කරන්නේ ගෙසෙල්ෂාෆ්ට් කියන වචනය පිළිබිබු වෙන්න. ඒක ජර්මන් වචනයක්. ඒකේ තේරුම ‘සමාගම’ කියන එක. ඒක හරියට අපේ ලියන්නේ Co. කියලා දානවා වගේ කෙටි යෙදුමක්. P අකුරෙන් කියවෙන්නේ පෙපියර්, ඒ කියන්නේ කඩදාසි කියන එක. දැන් බලමු අර Eg කියන්නේ මොකක්ද කියලා.’
ඔහු පොත් රාක්කයෙන් ලෝකයේ රටවල් ගැන විස්තර ඇති ඝනකම් දුඹුරැ පැහැ ශබ්දකෝෂයක් අතට ගත්තේය.
‘එග්ලෝ, එග්ලෝනිට්ස්… ආ මේ තියෙන්නේ Eg වලින් පටන්ගන්න නම එග්‍රියා. මේ සමාගම තියෙන්නේ ජර්මන් භාෂාව කතා කරන රටක් වන බොහීමියාවේ කාල්ස්බාඩ් නගරයට නුදුරින්. රෝම අධිරාජ්‍යාගේ සෙන්පති වැලන්ස්ටයින්ගේ මරණය සිදුවූ තැන විදිහටත්, වීදුරු කර්මාන්තශාලා සහ කඩදාසි මෝල් රාශියක් තිබීම නිසාත් මේ නගරය ප්‍රසිද්ධයි.’
ඔහුගේ දෑස් දීප්තිමත් විය. ඔහු තම සිගරට්ටුවෙන් නිල් පැහැති දුම් වළාවක් ඉහළට යැවූයේ ජයග්‍රාහී ලීලාවෙනි.
Page 09
‘එහෙනම් මේ කඩදාසි හදලා තියෙන්නේ බොහීමියාවේ.’ මම කීවෙමි.”
“හරියටම හරි. ඒ වගේම මේ ලිපිය ලියපු කෙනා ජර්මන් ජාතිකයෙක්. මේ වාක්‍ය ගලපලා තියෙන විදිහේ අමුත්තක් ඔබට පෙනුණද? ප්‍රංශ ජාතිකයෙක්වත්, රුසියානු ජාතිකයෙක්වත් කවදාවත් ඔය විදිහට වචන පටලවලා ලියන්නේ නැහැ. ක්‍රියා පදයකට ඔය විදිහට අගෞරව කරන්නේ ජර්මන් ජාතිකයෝ විතරයි.
ඉතින් දැන් අපිට දැනගන්න ඉතුරු වෙලා තියෙන්නේ, බොහීමියාවේ හදපු කඩදාසියක ලියුම් ලියන, මූණ පෙන්නන්නේ නැතුව වෙස් මුහුණක් දාගෙන එන්න කැමති මේ ජර්මන් ජාතිකයාට අපෙන් මොකක්ද ඕන කියන එක විතරයි. මට වැරදුණේ නැත්නම්, අපේ ඔය සැක ඔක්කොම දුරු කරන්න ඔන්න ඔහු එනවා.”
ඔහු එසේ පවසද්දීම, අශ්ව කුර ගැටෙන හඬත්, පාරේ අයිනේ රෝද ගැටෙන හඬත්, ඒ එක්කම වේගයෙන් සීනුව නාද කරන හඬත් ඇසිණි. හෝම්ස් උස් හඬින් විසිල් කළේය.
“සද්දෙ හැටියට නම් අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා.” ඔහු පැවසුවේය.
“ඔව්. අශ්වයො දෙන්නයි.” ජනේලයෙන් පිටත බලමින් ඔහු දිගටම කතා කළේය. “ලස්සන පුංචි බෘම් වර්ගයේ අශ්ව කරත්තයක්. අශ්වයෝ දෙන්නත් හරිම ලස්සනයි. එකෙක් ගිනියා එකසිය පනහක් විතර වටිනවා ඇති. වොට්සන්, වෙන මොනවා නැතත් මේ වැඩේ නම් හොඳට සල්ලි තියෙන එකක් වෙයි.”
“හෝම්ස්, මම මෙතනින් යන එක හොඳයි කියලයි මට හිතෙන්නේ.”
“කොහොමටවත් එපා දොස්තර මහත්මයා. හිටපු තැනම ඔහොම්මම ඉන්න. මේක නම් බොහොම සිත්ගන්නාසුළු පරීක්ෂණයක් වෙයි වගේ. ඒක මග ඇරුණොත් අපරාදෙ.”
“ඒත් ඔබේ අනුග්‍රාහකයා…”
“ඔහු ගැන හිතන්න එපා. මට ඔබේ උදව් ඕන වෙන්න පුළුවන්, සමහරවිට ඔහුටත් ඕන වෙයි. ඔන්න ඔහු එනවා. දොස්තර මහත්මයා, ඔය පුටුවේ ඉඳගෙන හොඳට අවධානයෙන් ඉන්න.”
Page 10
තරප්පු පෙළ දිගේ සහ බරාඳයේ ඇසෙමින් තිබූ බරැති සහ සෙමෙන් තැබූ පියවර හඬ, දොරටුව අසලදී එක්වරම නතර විය. ඉන්පසු දොරට ගැසූ හඬෙහි වූයේ අණ දෙන්නාක් වැනි ස්වභාවයකි.
“ඇතුළට එන්න!” හෝම්ස් පැවසීය.
කාමරයට ඇතුළු වූ පුද්ගලයා අඩි හයයි අඟල් හයකට වඩා උස, හර්කියුලිස් යෝධයකුගේ වැනි යෝධ ශරීරයක් සහ අත් පා ඇති අයෙකි. ඔහුගේ ඇඳුම් පැළඳුම් ඉතා වටිනා ඒවා වුවත්, එංගලන්තයේ අයෙකුට නම් එය දුටු විට සිතෙනුයේ එය අනවශ්‍ය මට්ටමේ අලංකාරයක් ලෙස ය.
ඔහු ඇඳ සිටි කබායේ අත් සහ ඉදිරිපස කොටස් ඇස්ට්‍රකාන් නම් වටිනා ලොම් පටිවලින් සරසා තිබුණි. උරහිස මතින් පිටුපසට නිල් පැහැති ලෝගුවක් දමාගෙන සිටියේය. ලෝගුවේ ඇතුල් පැත්ත, ගිනි සිළුවක පැහැය ගත් දීප්තිමත් සේද රෙද්දකින් නිමවා තිබූ අතර, බෙල්ල අසලින් එය රඳවා තිබුණේ දිලිසෙන මැණික් ගලක් සහිත කටුවකිනි. කෙණ්ඩයෙන් භාගයක් පමණ වැසෙන සේ දමා තිබූ දුඹුරු පැහැති ලොම්වලින් සරසා තිබූ දිගු බූට් සපත්තු යුගලයද සමඟින්, ඔහුගේ මුළු පෙනුමෙන් දිස් වූයේ යම්කිසි ම්ලේච්ඡ රාජකීය බවකි.
පළල් වාටියක් සහිත තොප්පියක් අතින් ගෙන සිටි ඔහු, මුහුණේ ඉහළ කොටස වැසෙන සේ, කම්මුල් දක්වා දිගු වූ කළු පැහැති වෙස් මුහුණක් පැළඳ සිටියේය. ඔහු කාමරයට ඇතුළු වන විටත් ඔහුගේ අත වෙස් මුහුණ අසල තිබූ නිසා, ඔහු එය පළදින්නට ඇත්තේ ඒ මොහොතේම බව පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, නිරාවරණය වී තිබූ මුහුණේ පහළ කොටස දෙස බලන විට පෙනී ගියේ, ඔහු ශක්තිමත් චරිතයක් ඇති, තදින් එල්ලා වැටුණු තොලක් සහ මුරණ්ඩු බව පෙන්වන දිගු නිකටක් ඇති අයෙකු බවයි.
“ඔබට මගේ ලියුම ලැබුණද?” ගැඹුරු, රළු කටහඬකින් සහ තද ජර්මානු උච්චාරණයකින් යුතුව ඔහු විමසීය. “ඒකේ තිබුණා මම එනවා කියලා.”
ඔහු අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ කවුරුන් ඇමතිය යුතුදැයි නොදන්නා සේ ය.
Page 11
“කරුණාකරලා වාඩි වෙන්න.” හෝම්ස් පැවසුවේය. “මේ ඉන්නේ මගේ මිත්‍රයා වගේම වෘත්තීය සහායකයා වන වොට්සන් දොස්තර මහත්මයා. ඔහු තමයි මගේ වැඩවලදී බොහෝ වෙලාවට මට උදව් වෙන්නේ. මම කැමතියි දැනගන්න මම මේ කාවද ආමන්ත්‍රණය කරන්නේ කියලා?”
“ඔබට පුළුවන් මට වොන් ක්‍රෑම් සිටුවරයා කියලා කතා කරන්න. මම බොහීමියානු රදළ පරපුරේ කෙනෙක්. මම හිතනවා මේ ඉන්න ඔබේ මිත්‍රයා, ඉතාම වැදගත් රහස් කාරණයක් ගැන වුණත් විශ්වාස කරන්න පුළුවන්, ගෞරවනීය මහත්මයෙක් කියලා. එහෙම නැත්නම්, මම කැමතියි ඔබත් එක්ක තනියම කතා කරන්න.”
“මම යන්නට නැගිට්ටෙමි. නමුත් හෝම්ස් මගේ මැණික් කටුවෙන් අල්ලා මා ආපසු පුටුවේ ඉන්දවූයේය.
‘එක්කෝ අපි දෙන්නටම කියන්න, නැත්නම් කාටවත් එපා.’ ඔහු පැවසුවේය. ‘මට කියන්න තියෙන ඕනම දෙයක් මේ මහත්මයා ඉස්සරහ කියන්න ඔබට පුළුවන්.’
කවුන්ට්වරයා ඔහුගේ පළල් උරහිස් හැකිළුවේය.
‘එහෙනම් මම පටන් ගන්නම්.’ ඔහු පැවසීය. ‘හැබැයි ඊට කලින් ඔබ දෙදෙනාම පොරොන්දු වෙන්න ඕන මේ රහස අවුරුදු දෙකක් යනකම් කාටවත් කියන්නේ නෑ කියලා. අවුරුදු දෙකකට පස්සේ නම් මේකේ එච්චර වැදගත්කමක් නැහැ. හැබැයි මේ මොහොතේ හැටියට, මේ කාරණාව මුළු යුරෝපා ඉතිහාසයටම බලපාන තරම් බරපතල දෙයක්.’
‘මම පොරොන්දු වෙනවා.’ හෝම්ස් කීවේය.
‘මමත් පොරොන්දු වෙනවා.’ මම ද කීවෙමි.
‘මම වෙස් මුහුණක් පැළද සිටීම ගැන මට සමාවෙන්න ඕන.’ අපේ අමුත්තා කතාව දිගටම කරගෙන ගියේය. ‘මාව මෙතනට එවපු ඒ මහා බලගතු පුද්ගලයා කැමති නැහැ, එයාගේ නියෝජිතයා කවුද කියලා කවුරැවත් දැනගන්නවට. ඒ වගේම මම කියන්න කැමතියි, මම අර මුලින් කිව්ව නම මගේ ඇත්ත නම නෙවෙයි.’
‘මං ඒ බව දැනගෙන හිටියා,’ හෝම්ස් ගණනකට නැතුව පැවසීය.
Page 12
‘මේ කාරණාව හරිම සංකීර්ණයි. මේක ලොකු ආන්දෝලනයක් ඇති කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම යුරෝපයේ රජ පවුලක ගෞරවයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක යටපත් කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න ඕන. කෙලින්ම කියනවා නම්, මේකට සම්බන්ධ වෙන්නේ බොහීමියාවේ පාරම්පරික රාජ වංශය වන ඔර්ම්ස්ටයින් රජ පවුල.’
‘මම ඒ ගැනත් දැනගෙන හිටියා.’ හෝම්ස් කෙඳිරි ගාමින් පැවසුවේ හාන්සි පුටුවේ පිටුපසට හේත්තු වී දෑස් පියා ගනිමින්ය.
යුරෝපයේ සිටින තියුණුම බුද්ධියක් ඇති, ක්‍රියාශීලී පුද්ගලයා ලෙස තමාට හඳුන්වා දී තිබූ ඒ රහස් පරීක්ෂකයා, අලසව හාන්සි වී සිටින ආකාරය දුටු අපගේ අමුත්තා, ඔහු දෙස බැලුවේ මඳක් පුදුමයෙනි. හෝම්ස් සෙමින් දෑස් හැර, තමා ඉදිරිපිට සිටින යෝධ ශරීරයක් ඇති සේවාදායකයා දෙස බැලුවේ නොඉවසිල්ලෙන් යුතුවයි.
‘මහරජතුමනි, ඔබතුමා ඔබේ ගැටලුව විස්තර කරන්න කාරුණික වෙනවා නම්, මට පුළුවන් වෙයි ඔබට වඩාත් හොදින් උපදෙසක් දෙන්න.’
අපේ අමුත්තා එකවරම පුටුවෙන් නැගිට, පාලනය කරගත නොහැකි ආවේගයෙන් යුතුව කාමරය තුළ එහා මෙහා ඇවිද ගියේය. ඉන්පසු දැඩි කලකිරීමෙන් යුතුව මුහුණේ තිබූ වෙස් මුහුණ ගලවා ඉරා බිමට විසි කළේය.
‘ඔබ හරි.’ ඔහු කෑගැසුවේය. ‘මම තමයි රජතුමා. මම ඇයි ඒක හංගන්න හදන්නේ?’
‘ඇත්තටම. ඇයි ඔබ එහෙම කළේ?’ හෝම්ස් මුමුණමින් කීවේය. ‘ඔබතුමා කතා කරන්නත් කලින් ඉදලම මම දැනගෙන හිටියා, මම මේ කතා කරන්නේ ෆෙල්ස්ටයින්හි මහා ආදිපාදවරයා සහ බොහීමියාවේ පාරම්පරික රජු වන විල්හෙල්ම් ගොට්ස්රයික් සිගිස්මන්ඩ් වොන් ඔර්ම්ස්ටයින්ට කියලා.’
‘ඔබට තේරුම් ගන්න පුළුවන්නේ.’ යැයි පවසමින් අපගේ අමුත්තා නැවත වරක් වාඩි වී, ඔහුගේ සුදු නළල් තලය මතින් අත යැවුවේය.
‘ඔබට තේරෙනවා ඇතිනේ, මම පුරුදු වෙලා නෑ මේ වගේ වැඩවලට මමම එන්න. ඒත් මේ කාරණාව කොයිතරම් සියුම් කාරණයක්ද කියනවා නම්, මට බැහැ මේක වෙන නියෝජිතයෙක්ට භාර දෙන්න. එහෙම කළොත් මම ඒ කෙනාගේ ග්‍රහණයට අහුවෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයට ඕන විදියටයි මට වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා ඉතාමත් රහසිගතව මම ප්‍රාග් නුවර ඉඳලා වෙස් වළාගෙන ආවේ ඔබෙන් උපදෙස් ගන්නමයි.’
Page 13
‘හොදයි. එහෙමනම් කරුණාකරලා කියන්න.’ හෝම්ස් නැවතත් දෑස් පියා ගනිමින් කීවේය.
‘කෙටියෙන් කිව්වොත් කාරණාව මේකයි. මීට අවුරුදු පහකට විතර කලින් මම වෝර්සෝ නුවර දීර්ඝ සංචාරයකට ගියා. එතනදී මට දැන හඳුනාගන්න ලැබුණා, බොහොම ප්‍රසිද්ධ කාන්තාවක් වන අයිරින් ඇඩ්ලර්ව. ඒ නම ඔබට අනිවාර්යයෙන්ම හුරු පුරුදු ඇති.’
‘දොස්තර මහත්මයා, කරුණාකරලා මගේ නාමාවලියේ ඇය ගැන විස්තර තියෙනවද බලන්න.’ දෑස් නොහැරම හෝම්ස් මිමිණුවේය.
වසර ගණනාවක සිට විවිධ පුද්ගලයන් සහ යම් යම් දේවල් ගැන පළවන ලිපි කොටස් එක්රැස් කර තබා ගැනීමට හෝම්ස් පුරුදු වී සිටියේය. ඒ නිසා ඔහුට තොරතුරු සොයා දිය නොහැකි මාතෘකාවක් හෝ පුද්ගලයෙකු සොයා ගැනීම ඉතා අපහසු දෙයක් විය. මේ අවස්ථාවේදී මට ඇගේ ජීවන තොරතුරු හමුවුණේ, හීබෲ පූජකවරයෙකුගේ විස්තරයකට සහ, ගැඹුරු මුහුදේ මාළුන් ගැන පොතක් ලියූ හමුදා නිලධාරියෙකුගේ විස්තරයකට මැදිව තිබීයි.”
‘කෝ බලන්න!’ හෝම්ස් පැවසීය. ‘හ්ම්! 1858 දී නිව් ජර්සිවල ඉපදිලා තියෙන්නේ. කොන්ට්‍රාල්ටෝ ඒ කියන්නේ ගැඹුරු හඬක් ඇති ඔපෙරා ගායිකාවක්… හ්ම්! වෝර්සෝ නුවර රාජකීය ඔපෙරා කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව… ඊළගට ඔපෙරා වේදිකාවෙන් සමු අරගෙන ඇත… හා! දැන් ලන්ඩන්වල ජීවත් වෙනවා… හරි!
මහරජතුමනි, මට තේරෙන විදිහට ඔබ වහන්සේ මේ තරුණිය සමඟ සම්බන්ධයක් පවත්වලා තියෙනවා. ඒ වගේම ඔබ ඇයට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් ලිපි වගයක් ලියලා තියෙනවා. දැන් ඔබට වුවමනා වෙලා තියෙන්නේ ඒ ලිපි ආපහු ගන්න.’
‘හරියටම හරි. ඒත් කොහොමද…’
Page 14
‘රහසිගත විවාහයක් තිබුණද?’
‘නැහැ.’
‘නීත්‍යානුකූල ලියකියවිලි හෝ සහතික මොනවත් නැද්ද?’
‘කිසි දෙයක් නැහැ.’
‘එහෙනම් මහරජතුමනි, මට මේක පැහැදිලි මදි. මේ තරුණිය කප්පම් ගන්න හරි වෙනත් දේකට හරි මේ ලිපි ඉදිරිපත් කළොත්, ඇය කොහොමද ඔප්පු කරන්නේ ඒවා ඇත්තටම ඔබ එවපු ඒවා කියලා?’
‘මගේ අත් අකුරු තියෙනවනේ.’
‘පූහ්! ඕන කෙනෙක්ට බොරු අත්සන් යොදන්න පුළුවන්.’
‘මගේ පෞද්ගලික ලියුම් කඩදාසිවලනේ ලියලා තියෙන්නේ.’
‘ඒවා හොරකම් කරපුවා කියන්න පුළුවන්.’
‘මගේ නිල මුද්‍රාව තියෙනවා.’
‘ඒකත් ව්‍යාජ විදිහට හදපු එකක් කියන්න පුළුවන්.’
‘මගේ ඡායාරූපයකුත් තියෙනවා.’
‘ඒක සල්ලි දීලා ගත්ත එකක් කියන්න පුළුවන්.’
‘නමුත් ඒ ඡායාරූපයේ අපි දෙන්නම හිටියා.’
‘අනේ දෙයියනේ. ඒක නම් ලොකු අවුලක්. ඔබතුමා නම් කරගෙන තියෙන්නේ ලොකු මෝඩකමක්.’
‘මට පිස්සු හැදිලයි හිටියේ… මගේ සිහිය විකල් වෙලයි තිබුණේ. එතකොට මම ඔටුන්න හිමි කුමාරයා විතරයි. මම තරුණයි. මට අවුරුදු තිහයිනේ.’
‘ඒක ආපහු ගන්නම වෙනවා.’
‘අපි උත්සාහ කළා, ඒත් බැරි වුණා.’
‘මුදල් ගෙවලා ඒක සල්ලි දීලා ගන්න ඕන.’
‘ඇය ඒක විකුණන්නේ නෑ.’
Page 15
‘එහෙනම් හොරකම් කරන්න වෙනවා.’
“පස් වතාවක්ම උත්සාහ කළා. මම මුදල් ගෙවපු හොරු දාලා දෙපාරක්ම ඇයගේ ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කෙරෙව්වා. එක පාරක් ඇය ගමනක් යද්දී අපි ඇයගේ බඩු මලු ටික වෙන පැත්තකට යවලා බැලුවා. තව දෙපාරක් මග රැකලා ඉඳලා ඇය ළඟ පරීක්ෂා කළා. ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.”
“එක හෝඩුවාවක්වත් තිබුණේ නැද්ද?”
“කිසිවක් නැහැ.”
හෝම්ස් හඬ නඟා සිනාසුණේය. “මේක නම් හරිම ලස්සන, පුංචි ගැටලුවක්,” ඔහු පැවසීය.
“ඔබට එහෙම වුණාට, මට නම් මේක හරිම බරපතල ප්‍රශ්නයක්,” යැයි රජතුමා මඳක් දොස් කියන ස්වරයෙන් පෙරළා පිළිතුරු දුන්නේය.
“ඇත්තටම ඒක ගොඩක් බරපතලයි. ඉතින් ඇය මොකද කරන්න හදන්නේ ඔය ඡායාරූපයෙන්?”
“මාව විනාශ කරන්න.”
“ඒත් කොහොමද?”
“මම ළඟදීම විවාහ වෙන්නයි ඉන්නේ.”
“මටත් ඒ ගැන ආරංචියි.”
“ස්කැන්ඩිනේවියාවේ රජතුමාගේ දෙවැනි දුව වන ක්ලොටිල්ඩ් ලොත්මන් වොන් සැක්ස්-මෙනින්ජන් කුමරිය එක්ක. ඔබ දන්නවා ඇතිනේ ඒ පවුලේ තියෙන තද නීති රීති සහ සම්ප්‍රදායන් ගැන. ඇය බොහොම සංවේදී, සියුම් චරිතයක්. මගේ හැසිරීම ගැන පොඩි හරි සැකයක් ඇති වුණොත් එතනින්ම මේ ඔක්කොම ඉවර වෙයි.”
“එතකොට අයිරින් ඇඩ්ලර්?”
“ඇය තර්ජනය කරනවා ඒ ඡායාරූපය ඇගේ පවුලේ අයට යවනවා කියලා. ඒවගේම ඇය ඒක අනිවාර්යයෙන්ම කරයි. මම දන්නවා ඇය ඒක කරන බව. ඔබ ඇය ගැන දන්නේ නෑ, ඇයට තියෙන්නේ වානේ වගේ හයිය හිතක්. ඇයට තියෙන්නේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවගේ මුහුණක් වුණාට, ඇයගේ හිත හරියට, දැඩි අධිෂ්ඨානයක් තියෙන පිරිමියෙක්ගේ වගේ. මම වෙන කාන්තාවක්ව විවාහ කරගන්නවා දකින එක වළක්වන්න ඇය ඕනම දෙයක් කරාවි.”
Page 16
“ඔබට විශ්වාසද ඇය තාම ඒක ඔවුන්ට යවලා නෑ කියලා?”
“මට හොඳටම විශ්වාසයි.”
“ඒ ඇයි?”
“මොකද ඇය කියලා තියෙනවා මගේ විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දවසට තමයිලු, ඇය ඒක යවන්නේ කියලා. ඒ දවස යෙදිලා තියෙන්නේ ලබන සඳුදාට.”
‘ආ, එහෙනම් අපිට තව දවස් තුනක් තියෙනවා.’ හෝම්ස් ඈනුමක් අරිමින් පැවසීය. ‘ඒක ලොකු දෙයක්. මොකද මේ දවස්වල මට හොයලා බලන්න තව වැදගත් වැඩ එකක් දෙකක් තියෙනවා. මහරජතුමනි, ඔබතුමා දැනට ලන්ඩන්වල නේද නවතින්නේ?’
‘අනිවාර්යයෙන්ම. ලැන්ග්හැම් හෝටලයේ වොන් ක්‍රෑම් සිටුවරයා කියන නමින් මම ඉන්නවා.’
‘හරි, එහෙනම් වැඩේ කෙරීගෙන යන විදිහ ගැන මම ඔබට පණිවුඩයක් එවන්නම්.’
‘අනේ කරුණාකරලා එහෙම කරන්න. මම මේ ගැන හරිම නොඉවසිල්ලෙන් වගේම බයකිනුයි ඉන්නේ.’
‘එතකොට මුදල් කටයුතු?’
‘ඔබට කැමති ඕනම ගානක් වියදම් කරන්න මම පූර්ණ නිදහස දෙනවා.’
‘ඇත්තටමද?’
‘මම මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. ඔය ඡායාරූපය ලබාගන්න පුළුවන් නම් මගේ රාජධානියෙන් පළාතක් වුණත් ඔබට ලියලා දෙන්න මම සූදානම්.’
‘එතකොට දැනට වියදම්වලට?’
රජතුමා තමන්ගේ ලෝගුව යටින් බරැති සම් බෑගයක් එළියට ගෙන මේසය මත තැබුවේය.
Page 17
‘රත්තරන්වලින් පවුම් තුන්සීයකුයි, නෝට්ටුවලින් පවුම් හත්සීයකුයි මේකේ තියෙනවා.’ ඔහු පැවසීය.
හෝම්ස් ඔහුගේ සටහන් පොතෙන් කොළයක් ඉරා, එහි ලදුපතක් ලියා රජතුමා අතට දුන්නේය.
‘එතකොට අර මෙනවියගේ ලිපිනය?’ ඔහු ඇසුවේය.
‘බ්‍රයනි ලොජ්, සර්පන්ටයින් මාවත, ශාන්ත ජෝන්ස් වුඩ්.’
හෝම්ස් එය සටහන් කර ගත්තේය.
‘තව එක ප්‍රශ්නයක්. ඡායාරූපය කැබිනට් ප්‍රමාණයේ එකක්ද?’
‘ඔව්. එහෙමයි.’
‘එහෙනම් ඔබට සුබ රාත්‍රියක් මහරජතුමනි. මම විශ්වාස කරනවා ළඟදීම අපිට පුළුවන් වෙයි කියලා ඔබට සුබ ආරංචියක් දෙන්න.
ඒ වගේම සුබ රාත්‍රියක් වොට්සන්.’ රජතුමාගේ අශ්ව කරත්තය පාර දිගේ ඈතට ගමන් ගනිද්දී හෝම්ස් පැවසුවේය. ‘හෙට හවස තුනට විතර මෙහේ එන්න පුළුවන් නම්, මම කැමතියි මේ පුංචි කාරණාව ගැන ඔබත් එක්ක කතා කරන්න.’
හරියටම සවස තුන වන විට මම බේකර් වීදියට පැමිණියෙමි. නමුත් හෝම්ස් තවම පැමිණ සිටියේ නැත. නිවසේ ගෙහිමිකාන්තාව මට දන්වා සිටියේ, උදෑසන අට පසුවූ විගස ඔහු පිටත් වී ගිය බවයි. කෙසේ වුවත්, ඔහු පැමිණීමට කොපමණ වේලාවක් ගත වුවද එය ඉවසා සිටීමේ අදහසින් යුතුව මම ගිනි උදුන අසලින් අසුන් ගත්තෙමි.
ඔහුගේ මේ පරීක්ෂණය ගැන මගේ සිතේ තිබුණේ ලොකු උනන්දුවකි. මම මීට පෙර වාර්තා කළ අපරාධ සිදුවීම් දෙකෙහි තිබූ බිහිසුණු සහ අභිරහස්මය සිදුවීම් මෙහි නොතිබුණ ද, මේ සිද්ධියේ වූ ස්වභාවය සහ අපගේ අනුග්‍රාහකයාගේ තිබූ රදල තත්ත්වය නිසා මෙයට එයටම ආවේණික වූ විශේෂත්වයක් ලැබී තිබිණි.
Page 18
ඇත්තම පවසන්නේ නම්, මගේ මිත්‍රයා කරගෙන යන පරීක්ෂණයේ ස්වභාවය පසෙක තැබුවත්, ඔහු එය ග්‍රහණය කර ගන්නා අති දක්ෂ ආකාරයත්, ඔහුගේ තියුණු බුද්ධිය සහ තර්ක කිරීමේ හැකියාවත් නිසා, ඔහු වැඩ කරන අකාරය බලා සිටීම මට මහත් සතුටක් ගෙන දෙන කටයුත්තක් විය. විසඳා ගැනීමට ඉතාම අපහසු යැයි සිතෙන අබිරහස් පවා ඔහු ඉතා ඉක්මනින් සහ සියුම් ලෙස නිරාකරණය කරගන්නා ආකාරය දෙස මම බලා සිටියේ මහත් ආසාවෙනි. ඔහුගේ කාර්යයන් නිරන්තරයෙන්ම සාර්ථක වන බවට මට කොතරම් හුරු පුරුදු වී තිබුණේද යත්, ඔහු අසමත් වීමට ඉඩක් ඇතැයි යන සිතිවිල්ල පවා මගේ මනසින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් තිබිණි.
සවස හතරට ආසන්න වන විට කාමරයේ. දොර විවර විය. හොඳටම බීමත් වූ පෙනුමක් ඇති, අපිළිවෙලට වැඩුණු රැවුලක් සහ රතු වූ මුහුණක් සහිත, කිලිටි ඇඳුම් ඇඳගත් ගැල්කරුවෙකු කාමරයට ඇතුළු විය. වෙස් වළාගැනීමෙහිලා මගේ මිත්‍රයා සතු පුදුම සහගත හැකියාව ගැන මා හොඳින් දැන සිටියද, මේ සිටින්නේ ඔහුම බව තහවුරු කරගැනීමට මට තුන් වරක්ම ඔහු දෙස බැලීමට සිදු විය. හිස සලා මා හට සංඥාවක් කළ ඔහු නිදන කාමරයට පිවිසුණේය. මිනිත්තු පහකට පසු ඔහු කාමරයෙන් පිටතට පැමිණියේ ඔහුට සුපුරුදු ට්වීඩ් වර්ගයේ කබාය ද හැඳ ගෙනය.
දෑත් සාක්කුවේ ඔබාගෙන, ගිනි උදුන දෙසට දෙපා දිගු කර ගත් ඔහු, විනාඩි කිහිපයක් යනතුරු මහ හඬින් සිනාසුණේය.
‘අනේ ඇත්තටම.’ ඔහු කෑගැසුවේය. ඉන්පසු ඔහු හුස්ම හිරවන තරමට සිනාසුණු අතර, පණ නැති වූවෙකු සේ සොපාව මතට ඇද වැටුණේ සිනාව පාලනය කරගත නොහැකිවයි.
‘මොකක්ද සිද්ධ වුණේ?’
‘ඒක නම් හරිම විහිළු සහගතයි. මම අද උදේ කාලය ගත කළේ කොහොමද කියලවත්, අන්තිමට මම මොකද කළේ කියලවත් ඔබට කීයටවත් හිතාගන්න බැරි වේවි.’
“මට නම් හිතාගන්නවත් බැහැ තමයි. සමහරවිට ඔබ අයිරින් ඇඩ්ලර් මෙනවිය ගැනයි, ඇයගේ නිවස ගැනයි සෝදිසි කරන්න ඇති.”
Page 19
“හරියටම හරි; හැබැයි ඊට පස්සේ සිද්ධ වුණේ හරිම අසාමාන්ය සිදුවීමක්. මම අද උදේ අට පහු වෙලා මෙතනින් පිටත් වුණේ, රස්සාවක් නැති ගැල්කරුවෙකු විදිහට වෙස් වළාගෙන. අශ්වයෝ ආශ්‍රිත රස්සා කරන මිනිස්සු අතර පුදුමාකාර සහෝදරකමක් සහ බැඳීමක් තියෙනවා. ඒ අයගෙන් කෙනෙක් වුණාම, දැනගන්න තියෙන ඕනෑම දෙයක් දැනගන්න හරිම ලෙසියි කියලා මම දැනගෙන හිටියා.
මම ඉක්මනින්ම බ්‍රයනි ලොජ් නිවස හොයාගත්තා. ඒක කුඩා නමුත් හරිම අලංකාර නිවසක්. පිටුපසින් වත්තක් තිබුණත්, ඉදිරිපස කොටස පාරටම වන්නට ඉදිකරලයි තියෙන්නේ. නිවස මහල් දෙකකින් සමන්විතයි. ප්‍රධාන දොරට චබ් වර්ගයේ අගුලක් දාලා තිබුණා. දකුණු පැත්තට වෙන්න විශාල විසිත්ත කාමරයක් තියෙනවා. ඒකේ තියෙනවා බොහොම අගනා ගෘහ භාණ්ඩ කිහිපයක්. ඒ වගේම ඒකේ ජනේල පොළව මට්ටමටම වගේ දිගයි. හැබැයි ඒ ජනේලවලට දාලා තියෙන්නේ එංගලන්තයේ දකින්න ලැබෙන අර විකාර අගුල් ජාතිය. පොඩි ළමයෙක්ට වුණත් ඒවා ලේසියෙන්ම ඇරගන්න පුළුවන්.
නිවස පිටුපස නම් විශේෂ දෙයක් තිබුණේ නැහැ. හැබැයි අශ්ව කරත්ත දාන මඩුවේ වහලයට නැග්ගොත්, එතනින් බරාඳයේ ජනේලය ළඟට යන්න පුළුවන්කම තිබුණා. මම වටේම ඇවිදලා හැම පැත්තෙන්ම බොහොම හොඳට පරීක්ෂා කළා. නමුත් ඊට වඩා විශේෂ යමක් මගේ ඇස ගැටුණේ නැහැ.
ඊට පස්සේ මම පාර දිගේ නිකම් ඇවිදගෙන ගියා. මම බලාපොරොත්තු වුණා වගේම, වත්තේ තාප්පයක් අයිනෙන් වැටිලා තිබුණු පටු පාරක අශ්ව ගාලක් තියෙනවා මම දැක්කා. එතැන හිටපු ගැල්කරැවන්ට අශ්වයන් පිරිසිදු කරන්න මම උදව් කළා. ඒ වෙනුවට මට පැන්ස දෙකකුයි, බීම වීදුරුවකුයි, දුම්කොළ පුරවපු පයිප්ප දෙකකුයි ලැබුණා. ඒ වගේම මට අයිරින් ඇඩ්ලර් මෙනවිය ගැන ඕනෑ තරම් තොරතුරැ දැනගන්න ලැබුණා. නමුත් ඒ අතරේ මට කිසිම වැඩකට නැති, ඒ අවට ඉන්න මිනිස්සුන් ගැන තොරතුරුත් අහගෙන ඉන්න සිද්ධ වුණා.”
“ඉතින් මොනවද අයිරින් ඇඩ්ලර් ගැන දැනගත්තේ?” මම ඇසුවෙමි.
“ආ.. ඇය ඒ පැත්තේ ඉන්න හැම පිරිමියෙකුගෙම වගේ හිත් වසඟ කරගෙනයි ඉන්නේ. මේ මිහිපිට ඉන්න ලස්සනම සුරඟන ඇය කියලයි, සර්පන්ටයින් අශ්ව ගාලේ ඉන්න හැම මනුස්සයෙක්ම කියන්නේ. ඇය ගත කරන්නේ බොහොම නිස්කලංක ජීවිතයක්. එඇය ඔපෙරා ප්‍රසංගවල ගායනා කරන්න යනවා. හැමදාම හවස පහට නිවසින් පිටව යන ඇය, හරියටම හත වෙද්දී රෑ කෑමට ආපහු නිවසට එනවා.
Page 20
ප්‍රසංගවලට යන වෙලාවට ඇරෙන්න වෙන වෙලාවට ඇය නිවසෙන් එළියට යන්නේ හරිම කලාතුරකින්. ඇයව බලන්න එනවා එකම එක පිරිමියෙක්. හැබැයි ඔහු නිතරම එනවලු. ඔහු බොහොම ප්‍රියමනාප, හැඩකාර, කඩවසම් පුද්ගලයෙක්. දවසකට සැරයක්වත් ඔහු අනිවාර්යයෙන්ම එනවලු. ගොඩක් දවස්වලට දෙපාරක්ම එනවා. ඔහු නමින් ගොඩ්ෆ්‍රි නෝටන්. ලන්ඩනයේ ඉනර් ටෙම්පල් නම් නීතිඥ කාර්යාලයේ නීතිඥයෙක්.
ඔබට පේනවනේ රහස් දැනගන්න ඕන වුණාම අශ්ව කරත්තකාරයෝ කොච්චර වටිනවද කියලා. ඔවුන් මේ පුද්ගලයව ඕනෑ තරම් වාරයක් මේ බ්‍රයනි ලොජ් නිවස ළග ඉදලා ආපහු ඔහුගේ ගෙදරට ඇරලවලා තියෙනවා. ඉතින් ඔවුන් ඔහු ගැන හැම දේම දන්නවා. ඔවුන් කියපු හැම දේකටම ඇහුම්කන් දුන්නට පස්සේ, මම ආපහු බ්‍රයනි ලොජ් නිවස ඉදිරිපිට පාරේ එහා මෙහා ඇවිදින්න පටන් ගත්තා, මගේ ඊළඟ සැලසුම ගැන කල්පනා කර කර.
මේ ගොඩ්ෆ්‍රි නෝටන් කියන්නේ මේ සිද්ධියේ වැදගත් පුරුකක් බව පැහැදිලියි. ඔහු නීතිඥයෙක්. අන්න ඒක නම් එච්චර හොඳ ලකුණක් නෙවෙයි. ඔවුන් දෙදෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඇයි ඔහු නිතරම ඇයව බලන්න එන්නේ? ඇය ඔහුගේ කටයුතුවල සේවාදායිකාවක්ද, මිතුරියක්ද, නැත්නම් ඔහුගේ පෙම්වතියද?
ඇය සේවාදායිකාවක් නම්, ඇය අර ඡායාරූපය පරිස්සම් කරන්න ඔහුට බාර දෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඇය පෙම්වතියක් නම්, එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරය අනුව තමයි මට තීරණය කරන්න වෙන්නේ, මම දිගටම බ්‍රයනි ලොජ් නිවස ගැන අවධානය යොමු කරනවද, එහෙම නැත්නම් මගේ අවධානය අර නීතිඥ මහත්මයාගේ කාර්යාලය පැත්තට යොමු කරනවද කියලා.
ඒක හරි සියුම් කාරණාවක්. ඒ නිසා මට පරීක්ෂණ කරන්න ඕන කරන පරාසය තවත් පුළුල් වුණා. මම මේ විස්තර කියලා ඔබට කරදර කරනවද මන්දා. ඒත් සිද්ධිය හරියටම තේරුම් ගන්න නම්, මට සිද්ධ වුණු මේ පොඩි පොඩි අපහසුතා ගැනත් ඔබට කියන්නම වෙනවා.”
Page 21
“මම බොහොම හොඳට අහගෙනයි ඉන්නේ.” මම පිළිතුරු දුන්නෙමි.
“මම ඒ ගැන හිත හිත ඉද්දිම, හැන්සම් වර්ගයේ කුලී රථයක් බ්‍රයනි ලොජ් නිවස ඉස්සරහ නතර කළා. මහත්මයෙක් එකපාරටම ඒකෙන් එළියට පැන්නා. ඔහු හරිම කඩවසම්. තලෙළුයි, උකුස්සෙක් වගේ නාසයක් තියෙන, උඩු රැවුලක් වවපු කෙනෙක්. මට අහන්න ලැබුණ විස්තරවලට අනුව මේ එන්නේ ඔහුම බව පැහැදිලියි.
ඔහු හිටියේ ලොකු හදිසියකින්. කරත්තකාරයාට එතනම ඉන්න කියලා කෑගහපු ඔහු, දොර ඇරපු මෙහෙකාරියවත් පහු කරගෙන ගෙට ගියේ, තමන්ගේම ගෙදරට යනවා වගේ බොහොම හුරු පුරුදු විදිහට
ඔහු පැය භාගයක් විතර නිවස ඇතුළේ හිටියා. මට ජනේලයෙන් යාන්තමට පෙනුණා ඔහු විසිත්ත කාමරය ඇතුළේ එහා මෙහා ඇවිදිනවා, කලබලෙන් වගේ කතා කරනවා, අත් එක එක පැතිවලට වනමින් මොනවදෝ විස්තර කරනවා. හැබැයි ඇයව නම් මට පෙනුණේ නැහැ. ටික වෙලාවකින් ඔහු එළියට ආවා. ඔහු හිටියේ කලින්ටත් වඩා කලබල වෙලා. අශ්ව කරත්තයට නගින ගමන් සාක්කුවෙන් රත්තරන් ඔරලෝසුවක් අරන් වෙලාව බලපු ඔහු කෑගැසුවා.
‘පුළුවන් උපරිම වේගෙන් යන්න. මුලින්ම රීජන්ට් වීදියේ ග්‍රොස් ඇන්ඩ් හැන්කීස් එකට. ඊට පස්සේ එජ්වෙයා පාරේ ශාන්ත මොනිකා පල්ලියට. මිනිත්තු විස්සෙන් ගියොත් ගිනියා භාගයක් දෙනවා.’
ඔවුන් වේගයෙන් පිටත් වුණා. මම කල්පනා කළා මමත් ඔවුන් පස්සෙන් යන එක නේද හොඳ කියලා. එහෙම හිතද්දිම අර පටු පාර දිගේ තව ලස්සන පුංචි ලැන්ඩෝ වර්ගයේ කරත්තයක් එතනට ආවා. ඒක එළවගෙන ආපු මිනිහාගේ කබායේ බොත්තම් බාගයක් දාලා නෑ, ටයි පටිය කන ළඟට ගිහින්. ඔහු කලබලයෙනුයි ඇවිත් තිබුණේ. ඒවගේම අශ්වයාට පැළදි ආම්පන්නවල පටිත් ඔක්කොම එල්ලෙනවා. ඒ තරමටම හදිසියෙන් ඇවිත් තිබුණේ.
කරත්තය නතර කරන්නත් කලින්ම වගේ ඇය නිවසෙන් එළියට පැනලා එක පිම්මට කරත්තයට නැග්ගා. මම ඇයව දැක්කේ බොහොම ටික වෙලාවයි. ඒත් ඇය හරිම ලස්සන කාන්තාවක්. ඕනෑම පිරිමියෙක්ට ඇය වෙනුවෙන් මැරෙන්න වුණත් හිතෙන තරම් ලස්සන මූණක් තමයි ඇයට තිබුණේ.
Page 22
‘ජෝන්, ශාන්ත මොනිකා පල්ලියට යන්න.’ ඇය කෑගැසුවා. ‘මිනිත්තු විස්සෙන් ගියොත් සවරින් භාගයක් දෙනවා.’
“මේක නම් අතාරින්නම බැරි අවස්ථාවක් වොට්සන්. මම කල්පනා කර කර හිටියේ දුවගෙන යනවද, එහෙම නැත්නම් ඇය ගමන්කරපු කරත්තෙ පස්සෙම එල්ලීගෙන යනවද කියලා. එතකොටම පාරේ අශ්ව කරත්තයක් ආවා. ඒකේ රියදුරා මගේ කිලිටි පෙනුම දැකලා මාව ගන්න අදිමදි කරමින් දෙපාරක්ම මා දිහා බැලුවා. ඒත් ඔහු බැ කියන්න කලින්ම මම කරත්තයට පැන්නා.
‘ශාන්ත මොනිකා පල්ලියට යන්න.’ මං කිව්වා. ‘මිනිත්තු විස්සෙන් ගියොත් සවරින් භාගයක් දෙනවා.’
එතකොට වෙලාව දොළහට මිනිත්තු විසිපහයි. වෙන්න යන්නේ මොකක්ද කියලා ඒ වෙද්දිත් මට බොහොම පැහැදිලි වුණා. මගේ රියදුරා ඉතාමත් වේගයෙන් ගියා. මම හිතන්නේ මම ඒ තරම් වේගෙයකින් කවදාවත් ගිහින් නැතුව ඇති. ඒත් අර දෙන්නා මම යන්න කලින් එතනට ගිහින් තිබුණා. මම යද්දී අර හැන්සම් කරත්තයයි ලැන්ඩෝ කරත්තයයි දෙකම පල්ලියේ දොරකඩ ඉස්සරහ නතර කරලා තිබුණා.
මම ආපු කරත්තේ මිනිහාට සල්ලි ගෙවලා ඉක්මනට පල්ලිය ඇතුළට ගියා. එතන හිටියේ අර දෙන්නයි, පූජක ඇඳුමින් හිටපු පියතුමෙකුයි විතරයි. පියතුමා ඒ දෙන්නත් එක්ක මොකක්දෝ බහින්බස් වීමක් වගේ. තුන්දෙනාම පූජාසනය ඉදිරිපිටයි හිටගෙන හිටියේ. නිකමට පල්ලියට ගොඩ වුණු කෙනෙක් වගේ මම පැත්තේ තියෙන පටු කොරිඩෝව දිගේ හෙමින් ඇවිදගෙන ගියා. එකපාරටම සිද්ධ වුණේ මම පුදුම වුණ දෙයක්. පූජාසනය ළඟ හිටපු තුන්දෙනාම ආපහු හැරිලා මගේ දිහා බැලුවා. ගොඩ්ෆ්‍රි නෝටන් මගේ දිහාවට දුවගෙන ආවේ පණ කඩාගෙන.
‘දෙවියන්ට ස්තූති වේවා’ ඔහු කෑගැසුවා. ‘ඔබව හරියනවා. එන්න! එන්න!’
‘මොකද මේ?’ මම ඇසුවා.
‘එන්න මනුස්සයෝ එන්න. තව තියෙන්නේ මිනිත්තු තුනයි. නැත්නම් මේක වලංගු වෙන්නේ නෑ.’
මාව පූජාසනය ළඟට ඇදගෙන වගේ අරන් ගියා. මට හිතාගන්නවත් බැරි වුණා මම කොහෙද ඉන්නේ කියලා. මගේ කනට කරලා කියපු දේවල් මමත් මුමුණ මුමුණ හිටියා. මම දන්නෙවත් නැති දේවල්වලට සාක්ෂි දැරුවා. කෙටියෙන්ම කියනවා නම් අවිවාහක අයිරින් ඇඩ්ලර්ව, අවිවාහක ගොඩ්ෆ්‍රි නෝටන් එක්ක විවාහ ගිවිස ගැනීම සථිර කරන්න මම උදව් වුණා.
Page 23
මේ ඔක්කොම වුණේ එක නිමේෂයකින්. ඊළඟට මහත්මයා එක පැත්තකින් මට ස්තූති කරනවා. නෝනා අනිත් පැත්තෙන් ස්තූති කරනවා. පියතුමා ඉස්සරහ ඉඳන් සිනාමුසු මුහුණින් මගේ දිහා බලාගෙන ඉන්නවා. මගේ මුළු ජීවිත කාලෙටම මම මුහුණ දුන්න විහිළු සහගතම සිද්ධිය තමයි ඒක. මට අර කලින් හිනා ගියේ ඒක මතක් වෙලා.
බැලින්නම් ඒ අයගේ විවාහ ගිවිසුමේ මොකක්දෝ අඩුපාඩුවක් තිබිලා. අඩුම තරමේ එක සාක්ෂිකරුවෙක්වත් නැතුව විවාහය සිදු කරන්න පියතුමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා. වාසනාවට වගේ මම එතනට ගිය නිසා මනමාලයා බේරුණා. නැත්නම් ඔහුට සිද්ධ වෙනවා පාරට බැහැලා දෙවැනි මනමාලයෙක් හොයාගන්න. මනමාලි මට සවරින් කාසියක් තෑගි දුන්නා. මේ සිද්ධිය මතක් වෙන්න මම ඒක මගේ ඔරලෝසු දම්වැලේ එල්ලගන්නයි හිතාගෙන ඉන්නේ.”
“මේක නම් හිතාගන්නවත් බැරි සිදුවීමක්නේ.” මම කීවෙමි. “ඉතින් ඊට පස්සේ මොකද වුණේ?”
“මම කලින් හදාගෙන ඉදපු සැලසුම්වලට මේ සිදුවීම නිසා ලොකු බාධාවක් එල්ල වුණා. මට හිතුණේ මේ ජෝඩුව ඉක්මනින්ම රටින් පිටව යයි කියලා. එහෙම වුණා නම් මට සිද්ධ වෙනවා බොහොම ඉක්මන් සහ දැඩි පියවර ගන්න.
හැබැයි පල්ලියේ දොරකඩදී එයාලා වෙන් වුණා. ඔහු කාර්යාලය බලා ගියා, ඇය ඇගේ නිවස බලා ගියා. ‘මම පුරුදු විදිහට හවස පහට උද්‍යානය පැත්තේ රවුමක් යනවා.’ ඇය ඔහුගෙන් සමුගනිද්දී කිව්වා. මට ඇහුණේ එච්චරයි. ඔවුන් දිශා දෙකකට ගියා. මමත් මගේ වැඩකටයුතු ලෑස්ති කරගන්න පිටත් වුණා.”
“මොනවද ඒ වැඩකටයුතු?”
“මස් ටිකකුයි බියර් වීදුරුවකුයි ගේන්න,” ඔහු කීවේ සීනුව නාද කිරීමෙන් අනතුරව පැමිණි ගෙහිමි කාන්තාවටය. “මට කෑම ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. අද හවසට කලින්ටත් වඩා වැඩ වැඩි වෙයි. ඒක නෙවෙයි දොස්තර මහත්මයා, මට ඔබේ සහයෝගයත් අවශ්‍යයි.”
Page 24
“මම බොහොම කැමැත්තෙන් උදව් කරන්නම්.”
“නීතිය කඩ කරන දෙයක් කරන්න වුණත් ඔබ කැමතිද?”
“කිසිම ප්‍රශ්නයක් නෑ.”
“හිරේ විලංගුවේ වැටෙන්න වුණත් පුළුවනි”
“හොද අරමුණක් වෙනුවෙන් නම් ඒත් කමක් නෑ.”
“අරමුණ නම් ඉතාම විශිෂ්ටයි!”
“එහෙනම් මම ඔබත් එක්ක ඉන්නවා.”
“මට ඔබව විශ්වාස කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා.”
”ඉතින් ඔබට මොකක්ද මගෙන් කෙරෙන්න ඕන කරන්නේ?”
“ටර්නර් මහත්මිය කෑම ටික ගෙනාවට පස්සේ මම ඔබට ඒක පැහැදිලි කරන්නම්.”
ගෙහිමි කාන්තාව ගෙන ආ සරල කෑම වේල ඔහු ඉක්මනින්ම කෑමට ගන්නට පටන්ගත්තේතේය.
“මට කන ගමන්ම මේක ගැන කතා කරන්න වෙනවා. මොකද නැත්නම් වෙලාව මදි වෙනවා. දැන් වෙලාව පහටත් කිට්ටුයි. තව පැය දෙකකින් අපි ක්‍රියාන්විතය සිද්ධ වෙන තැන ඉන්න ඕන. අයිරින් මෙනවිය, ඇත්තටම දැන් ඇය විවාහ වෙලා නිසා මැඩම් නේ, හත වෙද්දී ඇගේ සවාරිය ගිහින් ආපහු එනවා. අපි බ්‍රයනි ලොජ් එක ළග ඉන්න ඕන ඇයව පිළිගන්න. සිද්ධ වෙන්න ඕන දේ මම දැනටමත් සැලසුම් කරලයි තියෙන්නේ. හැබැයි එකම එක කාරණයක් ගැන විතරක් මම ඔබට තදින්ම කියනවා. මොන දේ වුණත් ඔබ මැදිහත් වෙන්න එපා. ඔබට තේරුණාද?”
“මම මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්නද කියන්නේ?”
“ඔව්, කිසිම දෙයක් කරන්න එපා. සමහරවිට එතන එවලේ පොඩි කලබලයක් වෙයි. ඒකට හවුල් වෙන්න යන්න එපා. ඒක ඉවර වෙද්දී මාව ඒ ගෙදරට අරගෙන යාවි. මිනිත්තු හතරකට පහකට විතර පස්සේ විසිත්ත කාමරයේ ජනේලයක් ඇරේවි. ඔබ ඒ ඇරපු ජනේලය කිට්ටුවට වෙලා ඉන්න ඕන.”
“හරි.”
Page 25
“ඔබ එතනට වෙලා විසිත්ත කාමරේ ඉන්න මා දිහා බලාගෙන ඉන්න ඕන. ඔබට මාව හොඳට පෙනේවි.”
“හොඳයි.”
“මම මේ වගේ අත ඉස්සුවම ඔබට කරන්න තියෙන්නේ, මම ඔබට දෙන දේ ඒ විසිත්ත කාමරේ ඇතුළට විසි කරන එක. ඊට පස්සේ ඒත් එක්කම ගින්නක්! ගින්නක්! කියලා කෑගහන්න ඕන. මම කියන දේ පැහැදිලියි නේද?”
“හොඳටම පැහැදිලියි.”
“මේක එච්චර භයානක දෙයක් නෙවෙයි.” සාක්කුවෙන් සුරුට්ටුවක් වැනි දිගු රෝලක් අතට ගනිමින් ඔහු කීවේය.
“මේක සාමාන්‍යයෙන් පයිප්ප වැඩ කරන අය පාවිච්චි කරන දුම් බටයක්. මේකෙ දෙපැත්තෙම ආවරණ තියෙනවා. ඒකෙන් තමයි මේක ඉබේ පත්තු වෙන්න හදලා තියෙන්නේ. ඔබට කරන්න තියෙන රාජකාරිය එච්චරයි.
ඔබ ගින්නක් කියලා කෑගහද්දී, එතන ඉන්න ගොඩක් අයත් ඒකම කිය කිය කෑගහයි. ඊට පස්සේ ඔබ එතැනින් හෙමිහිට ඉවත්වෙලා වීදියේ කෙළවරට යන්න ඕනේ. මිනිත්තු දහයකින් විතර මම එතනට ඇවිත් ඔබත් එක්ක එකතු වෙන්නම්. මම කියපු දේ පැහැදිලියි නේද?”
“මම කිසි දේකට මැදිහත් නොවී පැත්තකට වෙලා ඉන්නවා. ජනේලය ළඟට එනවා. ඔබේ දිහා බලාගෙන ඉන්නවා. සංඥාව ලැබුණම මේක ඇතුළට විසි කරනවා. ඊට පස්සේ ගින්නක් කියලා කෑගහලා, වීදියේ අයිනට ගිහිල්ලා ඔබ එනකම් බලාගෙන ඉන්නවා.”
“හරියටම හරි වොට්සන්.”
“එහෙනම් බය නැතුව මා ගැන විශ්වාසය තියන්න.” මම කීවෙමි.
“නියමයි. මම හිතන්නේ මට මීළගට රගපාන්න තියෙන මගේ අලුත් චරිතයට ලෑස්ති වෙන්න දැන් වෙලාව හරි.”
Page 26
ඔහු නිදන කාමරයට ගොස් මිනිත්තු කිහිපයකින් පිටතට පැමිණියේ, ඉතාමත් කරුණාවන්ත, අහිංසක පෙනුමක් ඇති පූජකතුමෙකුගේ වෙස් අරගෙනය. ඔහුගේ පළල් කළු තොප්පිය, බුරුල් කලිසම, සුදු ටයි පටිය, ඒ හිත උණු වන හිනාව, වගේම ඒ කරුණාවන්ත කුතුහලයෙන් පිරුණු බැල්ම දුටු කෙනෙකුට සිහි වනුයේ දක්ෂ නළුවෙක් වන ජෝන් හෙයාර්ය.
හෝම්ස් වෙස්වළා ගත්තේ ඇඳුම පමණක් නොවෙයි. ඔහුගේ මුහුණේ ඉරියව්, හැසිරීම්, කොටින්ම ඔහුගේ ආත්මය පවා ඔහු රඟදක්වන චරිතයට අනුව වෙනස් වී තිබුණි. ඔහු අපරාධ විශේෂඥයෙකු වීම නිසා විද්‍යාවට දක්ෂ තර්ක කරන්නෙක් අහිමි වූවා සේම, නාට්‍ය වේදිකාවටත් දක්ෂ නළුවෙක් අහිමි වුණේය.
අප බේකර් වීදියෙන් පිටත් වනවිට වේලාව සවස හයයි කාලය. සර්පන්ටයින් මාවතට ළඟා වෙද්දී හත වැදීමට තව මිනිත්තු දහයක් තිබුණි. ඒ වනවිටත් කෙමෙන් කෙමෙන් අඳුර වැටීගෙන එමින් තිබුණි. අපි බ්‍රයනි ලොජ් නිවසෙහි හිමිකාරියගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නිවස ඉදිරිපිට එහා මෙහා ඇවිදිමින් සිටි අතරතුර, වීදියේ වීදි ලාම්පු එකින් එක දැල්වීමට පටන් ගනිමින් තිබුණි.
ෂර්ලොක් හෝම්ස් කළ කෙටි විස්තරයට අනුව මා සිතෙහි මවාගෙන සිටි ආකාරයෙන්ම බ්‍රයනි ලොජ් නිවස දිස්විය. එහෙත්, එම ප්‍රදේශය මා බලාපොරොත්තු වූවාට වඩා අඩු හුදෙකලා බවකින් යුක්ත විය. ඇත්තෙන්ම, නිස්කලංක වටපිටාවක පිහිටි කුඩා වීදියක් වුවද, එහි වූයේ පුදුම සහගත සජීවී බවකි.
කිලිටි ඇඳුමින් සැරසුණු මිනිසුන් කණ්ඩායමක් එක් මුල්ලක දුම් පානය කරමින් සහ සිනාසෙමින් සිටියහ. තම රෝදයද රැගත් කතුරු මුවහත් තබන්නෙකුද, හෙද සේවිකාවක සමඟ පෙම් බස් දොඩමින් සිටි ආරක්ෂක භටයන් දෙදෙනෙකුද, මුවෙහි සිගරට් රඳවාගෙන වීදියේ ඔබමොබ ඇවිද ගිය හොඳින් ඇඳ පැළඳගත් තරුණයන් කිහිප දෙනෙකුද එහි විය.
“ඔබට පේනවනේ.” අප නිවස ඉදිරිපිට එහා මෙහා ඇවිදින අතරතුර හෝම්ස් පැවසීය.
“මේ විවාහය නිසා අපට කරන්න වෙන දේවල් ගොඩක් සරල වුණා. දැන් අර ඡායාරූපය හරියට දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. අපේ අනුග්‍රාහකයා ඔහු විවාහ වෙන්න ඉන්න කුමරිය මේක දකිනවට අකමැති වගේම, ඇයත් ගොඩක් වෙලාවට අකමැති වෙයි ගොඩ්ෆ්‍රි නෝටන් මහත්මයා ඒක දකිනවට. දැන් තියෙන ප්‍රශ්නේ තමයි, අපි කොහෙන්ද ඒ ඡායාරූපය හොයාගන්නේ කියන එක?”
Page 27
“ඇත්තටම, ඒක කොහෙද ඇත්තේ?”
“ඇය ඒක ළඟ තියාගෙන ඉන්නවා කියන එක වෙන්න බැරි දෙයක්. මොකද ඒක කැබිනට් ප්‍රමාණයේ ඡායාරූපයක්නේ. කාන්තාවකගේ ඇඳුමක ඒක හංගගෙන ඉන්න අමාරුයි. ඒ කියන්නේ ඒක ලොකු වැඩියි. ඒ් වගේම රජතුමාට පුළුවන් මග රැකලා ඉඳලා ඇයව පරීක්ෂා කරන්නත් කියලා ඇය දන්නවා. දැනටමත් දෙපාරක්ම එහෙම කළානේ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් ඇය ඒක ළඟ තියාගෙන නෑ කියලා.”
“එහෙනම් කොහෙද ඇත්තේ?”
“ඇගේ බැංකුකරුවා ළඟ, නැත්නම් නීතිඥයා ළඟ. ඔය දෙකම වෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නේ ඔය කා ළඟවත් නෑ. මොකද කාන්තාවන් ස්වභාවයෙන්ම රහස් හංගන්න දක්ෂ අය. ඒ වගේම ඔවුන් කැමතියි ඒවා තමන්ම හංගලා තියාගන්න. ඇයි ඇය ඒක වෙන කෙනෙක්ට දෙන්නේ? ඇයට ඇඇය ගැන විශ්වාසයි. බැංකුකරුවෙක්ට පිටින් බලපෑම් ආවොත් ඔහු මොනවා කරයිද කියලා කියන්න බෑනේ. අනික මතකනේ, ඇය දවස් කිහිපයක් ඇතුළත ඒක පාවිච්චියට ගන්නයි ඉන්නේ. ඒ නිසා ඒක ඇය ඇයට ඉක්මනින් ගන්න පුළුවන් තැනකයි තියන්න ඕන. ඒ කියන්නේ ඒක ඇයගේ නිවසෙම තියෙන්න ඕන.”
“ඒත් දෙපාරක්ම මිනිස්සු දාලා හෙව්වනේ.”
“ඔවුන් එකපාරටම කඩා පැනලා හෙව්වට නමුත් ඔවුන් දැනගෙන හිටියේ නෑ හොයන්න ඕන කොහොමද කියලා.”
“එතකොට ඔබ කොහොමද හොයන්නේ?”
“මම හොයන්න යන්නේ නෑ.”
“එහෙනම්?”
“මම කරන්නේ ඇයටම කියලා ඒක මට පෙන්නන තැනට වැඩ සලස්වන එක.”
“ඒත් ඇය කැමති වෙන එකක් නෑනේ.”
“ඇයට බෑ කියන්න බැරි වෙයි. ඔන්න මට ඇහෙනවා කරත්ත රෝද සද්දෙ. ඒ ඇගේ කරත්තෙ තමයි. දැන් මම දීපු උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන්න වොට්සන්.”
Page 28
ඔහු එසේ පවසත්ම, වීදියේ වංගුවෙන් මතු වූ අශ්ව කරත්තයක පහන් එළි දක්නට ලැබිණි. බ්‍රයනි ලොජ් නිවස ඉදිරිපිටට වේගයෙන් පැමිණ නතර වූයේ අලංකාර කුඩා ලැන්ඩෝ වර්ගයේ අශ්ව කරත්තයකි. එය නතර වත්ම, වීදි කොනෙහි නිකරුණේ කාලය ගත කරමින් සිටි අයෙකු කරත්තයේ දොර විවෘත කර මුදල් හදලක් ලබා ගැනීමේ අටියෙන් ඉදිරියට පැන්නේය. නමුත්, එම අරමුණෙන්ම ඉදිරියට පැමිණි තවත් රස්තියාදුකාරයෙකු විසින් ඔහුට වැලමිටෙන් ගසා පසෙකට තල්ලු කර දමනු ලැබීය.
ඒ සමඟම ඇති වූ දරුණු රණ්ඩුව, එක් අයෙකුගේ පැත්ත ගත් ආරක්ෂක භටයන් දෙදෙනා නිසාත්, අනෙක් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි කතුරු මුවහත් තබන්නා නිසාත් තවදුරටත් උත්සන්න විය. එක් අයෙකු පහරක් එල්ල කළේය. එම මොහොතේම කරත්තයෙන් බැසගත් කාන්තාව දෑත්වලින් සහ පොලුවලින් දරුණු ලෙස ගුටි බැට හුවමාරු කර ගන්නා මිනිසුන් අතර මැද සිර වූවාය.
කාන්තාව ආරක්ෂා කරගැනීම සඳහා හෝම්ස් එම සෙනඟ අතරට පැන්නේය. නමුත් ඇය අසලට ළඟා වත්ම කෑගසාගෙන බිම ඇද වැටුණු ඔහු ඔහුගේ මුහුණ දිගේ රූරා රුධිරය ගලා යන්නට විය. ඔහු බිම ඇද වැටීමත් සමඟම ආරක්ෂක භටයන් එක් දිශාවකටත්, රස්තියාදුකරුවන් අනෙක් දිශාවටත් පලා ගියහ. රණ්ඩුවට සම්බන්ධ නොවී බලා සිටි හොඳින් ඇඳ පැළඳ සිටි පිරිසක්, කාන්තාවට සහය වීමටත්, තුවාල ලැබූ පුද්ගලයා ගැන බැලීමටත් එතැනට එක්රොක් වූහ.
අයිරින් ඇඩ්ලර් පඩිපෙළ නැග ඉක්මනින් නිවස දෙසට ගියාය. එහෙත් පඩිපෙළ මුදුනේ නතර වූ ඇය, නිවස ඇතුළත වූ ආලෝකය පසුබිම් කරගෙන, ආපසු වීදිය දෙස බලා සිටියාය.
“අනේ පව්, ඒ මහත්මයාට ගොඩක් තුවාලද?” ඇය ඇසුවාය.
“ඔහු මැරිලා.” කීප දෙනෙක්ම කෑගැසූහ.
“නෑ නෑ, තාම පණ තියෙනවා.” තවත් කෙනෙක් කෑගැසුවේය. “හැබැයි ඉස්පිරිතාලෙට ගෙනියන්න කලින් ඔහු මැරෙයි.”
Page 29
“ඔහු හරි නිර්භීත මනුස්සයෙක්.” කාන්තාවක් පැවසුවාය. “ඔහු හිටියේ නැත්නම් අර හොරු රංචුව නෝනාගේ පර්ස් එකයි ඔරලෝසුවයි අරන් යනවා සත්තයි. ඔවුන් මහා දරුණු හොරු කල්ලියක් නෝනා. ආ, අන්න දැන් ඔහු හුස්ම ගන්නවා.”
“ඔහුට පාරේ ඉන්න බෑනේ. අපි ඔහුව ඇතුළට ගත්තට කමක් නැද්ද නෝනා?”
“අනිවාර්යයෙන්ම. අයිරින් ඇඩ්ලර් කීවාය. ඔහුව විසිත්ත කාමරේට අරන් එන්න. එතන සුවපහසු සෝෆාවක් තියෙනවා. මේ පැත්තෙන් එන්න.”
ඔවුන් හෙමින් සීරුවේ ඔහුව ඔබ්‍රයනි ලොජ් නිවස වෙත ඔසවාගෙන ගොස් විසිත්ත කාමරයේ වූ සෝෆාව මත තබන ලදී. මම එවලේ ජනේලය අසල රැඳී සිටිමින් සිදුවන දේ හොදින් නිරීක්ෂණය කළෙමි. ඒ වන විටත් නිවස තුළ වූ ලාම්පු දල්වා තිබුණි. ජනේල තිර දමා නොතිබූ බැවින්, සෝෆාව මත වැතිර සිටි හෝම්ස්ව මට මනාව දැකගත හැකි විය.
ඔහු රඟපාමින් සිටි ඒ චරිතය ගැන ඒ මොහොතේ හෝම්ස්ගේ සිතට යම් පසුතැවිල්ලක් ඇති වූයේ දැයි මම නොදනිමි. නමුත් අප මේ කුමන්ත්‍රණය කරමින් සිටින ඒ සුරූපී කාන්තාව දෙසත්, ඇය තුවාල ලැබූ පුද්ගලයාට සාත්තු සප්පායම් කළ ඒ කරුණාවන්ත ආකාරය දෙසත් බලන විට, මගේ ජීවිතයේ කවදාවත් නොදැනුණු තරම් ලැජ්ජාවක් මට මා ගැනම ඇති වූ බව නම් මම දනිමි.
එසේ වුවද, හෝම්ස් මට පැවරූ රාජකාරියෙන් දැන් ඉවත් වීම ඔහුට කරන මහා ද්‍රෝහීකමක් වනු ඇත. මම මගේ සිත දැඩි කරගෙන, මගේ දිගු කබාය ඇතුළත තිබූ දුම් බටය අතට ගත්තෙමි. කෙසේ වුවත්, අවසානයේදී අප ඇයට හිරිහැරයක් කරන්නේ නැත. අප මේ කරන්නේ ඇය විසින් තවත් කෙනෙකුට කිරීමට යන හිරිහැරයක් වළකාලීම පමණකි.
සෝෆාව මත සිටි හෝම්ස්, හුස්ම ගැනීමට අමාරු වූ මිනිසෙකු මෙන් අතින් සංඥා කරනු මම දුටුවෙමි. වහා ඉදිරියට දිව ගිය මෙහෙකාරියක් ජනේලය විවෘත කළාය. එම මොහොතේම ඔහු තම අත ඔසවනු දුටු මම, මා අත වූ දුම් බටය කාමරය තුළට විසි කළෙමි. ඉන්පසු ‘ගින්නක්!’ ‘ගින්නක්!’ යැයි කෑගැසුවෙමි.
Page 30
එම වචනය මා මුවින් පිටවූවා පමණි. හොඳින් ඇඳ පැළඳ සිටි අය මෙන්ම කිලිටි ඇඳුමින් සිටි අයද මහත්වරුන්, ගැල්කරුවන් සහ සේවිකාවන්ද ඇතුළුව රැස්ව සිටි පිරිස ‘ගින්නක්! ගින්නක්!’ යැයි කියමින් එක හඬින් කෑගසන්නට වූහ. ඝන දුම් වළාවන් කාමරය පුරාම පැතිර ගොස් විවෘත ජනේලය තුළින් පිටතට ඇදී එන්නට විය.
මිනිසුන් කලබලයෙන් ඔබමොබ දිව යනු මට යාන්තමට දැකගත හැකි වූ අතර, මොහොතකට පසු ඇතුළත සිටි හෝම්ස්ගේ කටහඬ ඇසිණි. එය බොරු අනතුරු ඇඟවීමක් බව පවසමින් ඔහු ඔවුන්ව සන්සුන් කළේය.
කෑකෝ ගසන සෙනඟ අතරින් රිංගා ගත් මම, වීදියේ කෙළවරට ගියෙමි. මිනිත්තු දහයකට පසු මගේ මිත්‍රයා මා හා එක්වීම මට මහත් සතුටක් ගෙන දුන්නේය. අපි ඒ ඝෝෂාකාරී පරිසරයෙන් ඈතට ගියෙමු. එජ්වෙයා පාර දෙසට වැටී තිබුණු නිස්කලංක වීදියකට හැරෙන තෙක්, ඔහු මිනිත්තු කිහිපයක් යනතුරුම නිහඬව සහ වේගයෙන් ඇවිද ගියේය.
“ඔබ ඒ වැඩේ හරිම ලස්සනට කළා දොස්තර මහත්මයා.” ඔහු කීවේය. “ඊට වඩා හොඳට කාටවත් ඒක කරන්න බැහැ. දැන් ඔක්කොම හරි.”
“එතකොට ඡායාරූපය ඔබ ළඟද?”
“මම දන්නවා ඒක තියෙන්නේ කොහෙද කියලා.”
“කොහොමද ඔබ ඒක හොයාගත්තේ?”
“මම ඔබට කිව්වා වගේම, ඇය මට ඒක පෙන්නුවා.”
“මට නම් තාම මේ මොකුත්ම තේරෙන්නේ නැහැ.”
“මේක තවදුරටත් අබිරහසක් කරගන්න මට වුවමනාවක් නෑ.” ඔහු සිනාසෙමින් පැවසීය.
“මේක හරිම සරල දෙයක්. ඔබ දකින්න ඇතිනේ එතන පාරේ හිටපු හැමෝම මගේ හවුල්කරුවන් බව. අද හවසට ඒ වැඩේ කරන්න ඒ හැමෝවම මම කුලියට අරගෙනයි තිබුණේ.”
“මට එහෙම හිතුණා.” මම කීවෙමි.
“ඊට පස්සේ රණ්ඩුව පටන් ගත්තා. එතකොටත් මගේ අතේ දියර රතු පාට සායම් ටිකක් මම ගාගෙනයි හිටියේ. මම ඒ අතරට පැන්නා. බිම ඇදගෙන වැටුණා. අත් දෙකෙන්ම මූණ වහගත්තා. එතකොට ඉතින් මාව දැක්කම ඕන කෙනෙක්ට දුක හිතෙනවා. ඕක බොහොම පරණ උපක්‍රමයක්.”
Page 31
“ඒකත් මට තේරුම් ගන්න පුළුවන් වුණා.”
“ඊට පස්සේ එතැන ඉදපු අය මාව ඒ නිවස ඇතුළට ඔසවාගෙන යන්න ඕන බව ඇයට කිව්වා. ඇයට සිද්ධ වුණා මාව ඇතුළට ගන්න. ඒ ඇරෙන්න ඇය වෙන මොනවා කරන්නද? මාව ගෙනිච්චේ විසිත්ත කාමරේට. මම සැක කරගෙන හිටියෙත් ඒ කාමරේ ගැනමයි. ඡායාරූපය තියෙන්න පුළුවන් එක්කෝ විසිත්ත කාමරේ, නැත්නම් නිදන කාමරේ. මට ඕන වුණා ඒ දෙකෙන් කොහෙද කියලා හරියටම බලාගන්න. ඔවුන් මාව සෝෆාව මතින් තිව්වා. මම හුස්ම ගන්න අමාරුයි වගේ පෙන්නුවා. ඔවුන්ට සිද්ධ වුණා ජනේලය අරින්න. අන්න එතකොට ඔබට අවස්ථාව ලැබුණා.”
“ඉතින් ඒ අවස්ථාව ඔබට උදව්වක් වුණේ කොහොමද?”
“ඒක ගින්නක් එක්ක සිදුවුණ කලබලය තමයි එතැන සිදුවුණ වැදගත්ම දේ. කාන්තාවකට ඇහුණොත් තමන්ගේ ගෙදර ගිනි ගන්නවා කියලා, ඔවුන්ගේ සහජ ඉව ඇයට කියන්නේ ඇයට වැඩියෙන්ම වටින දේ බේරගන්න දුවන්න කියල. ඒක පාලනය කරගන්න බැරි තරම් ප්‍රබල පෙළඹවීමක්. මම ඒකෙන් එක පාරකට වඩා ප්‍රයෝජන අරන් තියෙනවා. ඩාර්ලින්ටන් සිද්ධියෙදිත්, ආන්ස්වර්ත් මාළිගාවේ සිද්ධියෙදිත් මට ඒක ප්‍රයෝජනවත් වුණා.
විවාහක කාන්තාවක් නම් ඒවැනි වෙලාවට ඇගේ දරුවව වඩාගන්නවා. අවිවාහක කෙනෙක් නම් ඇයගේ ආභරණ පෙට්ටිය ගන්න දුවනවා. අද අපේ කතා නායිකාවට, අපි මේ හොයන දේට වඩා වටිනා වෙන දෙයක් නිවසේ නෑ කියලා මම හොඳාකාරවම දැනගෙන හිටියා. ඇය දුවන්නේ ඒක බේරගන්න බව මම දැනගෙන හිටියා.
ගිනි ගන්නවා කියන අනතුරු ඇඟවීම බොහොම අපූරුවට සිද්ධ වුණා. යකඩ වගේ හිතක් තියෙන කෙනෙක් වුණත් අර දුමයි කෑගැහිල්ලයි නිසා බය වෙනවා. ඇයත් මම හිතපු විදිහටම ප්‍රතිචාර දැක්වුවා. ඡායාරූපය තියෙන්නේ දකුණු පැත්තේ සීනුව නාද කරන රැහැනට උඩින් තියෙන, ලිස්සන පියනක් පිටිපස්සේ තියෙන කුහරයක් ඇතුළේ.
Page 32
ඇය එක මොහොතකින් එතනට ගියා. ඇය ඒක එළියට අදිනකොටම මම ඒක දැක්කා. ඊට පස්සේ මම මේක බොරු අනතුරු ඇඟවීමක් කියලා කෑගැහුවම, ඇය ආපහු ඒක ඇතුළට දාලා, දුම් බටය දිහා බලලා එතැනින් දුවලා යන්න ගියා. ඊට පස්සේ මම ඇයව දැක්කේ නෑ.
මම නැගිටලා, සමාවෙන්න කියලා එතනින් මාරු වුණා. මම කල්පනා කළා ඒ වෙලාවෙම ඡායාරූපය ගන්නවද කියලා. ඒත් ඇගේ කරත්තෙ රියදුරා ඇතුළට ඇවිල්ලයි හිටියේ. ඔහු මගේ දිහා ඕනෑකමින් බලන් හිටපු නිසා, තව ටිකක් ඉවසන එක හොඳයි කියලා මට හිතුණා. මොකද වැඩිය හදිසි වෙන්න ගියොත් වැඩේ ගැස්සෙන්න පුලුවන් නිසා.”
“ඉතින් දැන් ඊළගට?” මම ඇසුවෙමි.
“අපේ මෙහෙයුම දැන් ඉවරයි වගේ තමයි. මම හෙට රජතුමා එක්ක එහෙ යනවා. ඔබ කැමති නම් ඔබටත් එන්න පුළුවනි. අපි ගිහින් විසිත්ත කාමරේ ඉඳගෙන ඇය එනකම් ඉන්නවා. හැබැයි ඇය එනකොට අපිවත්, අර ඡායාරූපයවත් එතන නැති වෙන්න ඉඩ තියෙනවා. රජතුමාට ඔහුගේ අතින්ම ඒක ආපහු ලබාගන්න එක එතුමාට ලොකු සතුටක් වෙයිනේ.”
“කීයටද යන්නේ?”
“උදේ අටට. ඒ වෙනකොටත් ඇය ඇහැරිලා ඉන්න එකක් නෑ. ඉතින් අපිට බාධාවක් නැතුව වැඩේ කරන්න පුළුවනි. අනික අපි ඉක්මන් කරන්න ඕන. මොකද මේ විවාහය නිසා ඇගේ ජීවිතේ ඇයට වෙනදා සුපුරැදු සාමාන්‍ය පුරුදුත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම පමා නොවී රජතුමාට විදුලි පණිවුඩයක් යවන්න ඕන.”
අප බේකර් වීදියට පැමිණ දොරකඩ ළග නතර වුණෙමු. ඔහු සාක්කුවල යතුර සොයමින් සිටියදී, එතැනින් ගමන් ගත් පුද්ගලයෙක් මෙසේ පැවසීය:
“සුබ රාත්‍රියක්, ෂර්ලොක් හෝම්ස් මහත්මයා.”
එම අවස්ථාවේ පදික වේදිකාවේ පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටියද, එම සුබ පැතුම එක් කළේ, ඉක්මන් ගමනින් එතැනින් ගිය දිගු කබායක් හැඳගත් සිහින් තරුණයෙකු බව පෙනෙන්නට තිබිණි.
“මම ඔය කටහඬ කලින් අහලා තියෙනවා.” අඳුර වැටීගෙන එන වීදිය දෙස ඕනෑකමින් බලමින් හෝම්ස් පැවසීය. “ඒත් ඒ කවුරු වෙන්න ඇද්ද කියලා මට හිතාගන්න බෑ.”
Page 33
“එදින රාත්‍රියේ මම බේකර් වීදියේ නවාතැන් ගත්තෙමි. පසුදා උදෑසන අප පාන් සහ කෝපි පානය කරමින් සිටියදී, බොහීමියාවේ රජතුමා හදිසියේම කාමරයට කඩා වැදුණේය.
‘ඔබ ඒක අරගත්තද?’ ෂර්ලොක් හෝම්ස්ගේ දෙවුරෙන් තදින් අල්ලාගෙන, ඔහුගේ මුහුණ දෙස මහත් ආසාවෙන් බලාගෙන ඔහු කෑගැසුවේය.
‘තාවම නෑ.’
‘ඒත් බලාපොරොත්තුවක් තියෙනවා නේද?'”
“මට බලාපොරොත්තුවක් නම් තියෙනවා.”
“එහෙනම් එන්න යමු. මට නම් එහෙට යනකම්ම ඉවසිල්ලක් නෑ.”
“අපිට අශ්ව කරත්තයක් ගන්න වෙයි.”
“නෑ, මගේ අශ්ව කරත්තය එළියේ තියෙනවා.”
“එහෙනම් වැඩේ තවත් ලේසියි.”
අප පහත මාලයට බැස, නැවත වරක් බ්‍රයනි ලොජ් බලා පිටත් වීමු.
“අයිරින් ඇඩ්ලර් විවාහ වුණා.” හෝම්ස් කීවේය.
“විවාහ වුණා. කවද්ද?”
“ඊයේ.”
“ඒත් කා සමගද?”
“නෝටන් කියන ඉංග්‍රීසි ජාතික නීතිඥයෙකු සමග.”
“ඒත් ඇයට බෑනේ ඔහුට ආදරේ කරන්න.”
“මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඇය ඔහුට ආදරේ කරන්න කියලයි.”
“ඒ ඇයි එහෙම ප්‍රාර්ථනා කරන්නේ?”
“මොකද එතකොට ඔබතුමාට ආයෙ කවදාවත් ඇයගෙන් කරදරයක් වෙන එකක් නෑ. ඇය ඇගේ සැමියාට ආදරේ නම්, ඇය ඔබට ආදරේ නෑනේ. ඇය ඔබට ආදරේ නැත්නම්, ඇයට ඕන වෙන්නේ නෑ ඔබතුමාගේ වැඩකටයුතුවලට බාධා කරන්න.”
Page 34
“ඒක ඇත්ත. ඒ වුණාට… අනේ! ඇය මගේ තරාතිරමේ කෙනෙක් වුණා නම් කොච්චර හොඳද. එහෙම වුණා නම් ඇය මොන තරම් හොඳ රැජිනක් වෙයිද.”
ඔහු දැඩි නිහඬතාවයකට පත් විය. සර්පන්ටයින් මාවතේ කරත්තය නතර කරන තෙක්ම එම නිහඬතාවය බිඳුණේ නැත. බ්‍රයනි ලොජ් හි දොර විවෘතව තිබූ අතර, වයස්ගත කාන්තාවක් පඩිපෙළ මත සිටගෙන සිටියාය. අප අශ්ව කරත්තයෙන් බසින විට ඇය අප දෙස බලා සිටියේ සරදම් සහගත බැල්මකිනි.
“මේ ෂර්ලොක් හෝම්ස් මහත්තයා නේද?” ඇය ඇසුවාය.
“මම තමයි ෂර්ලොක් හෝම්ස්?” මගේ මිත්‍රයා පිළිතුරු දුන්නේ ප්‍රශ්නාර්ථ සහගතව සහ මඳක් පුදුමයෙන් ඇය දෙස බලමිනි.
“එහෙමද? මගේ නෝනා මට කිව්වා ඔබ අනිවාර්යයෙන්ම මෙහේ ඒවි කියලා. ඇය අද උදේ පහයි පහළොවේ දුම්රියෙන් චැරින් ක්‍රොස් ඉඳන් රටින් පිටවෙන්න පිටත් වුණා, ඇයගේ මහත්තයත් එක්කම.”
“මොනවා!” ෂර්ලොක් හෝම්ස් දැඩි කලකිරීමෙන් සහ පුදුමයෙන් සුදුමැලි වී අඩියක් පස්සට ගත්තේය. “ඔබ කියන්නේ ඇය එංගලන්තෙන් ගියා කියලද?”
“ඔව්, ආයෙ කවදාවත් එන්නේ නෑ.”
“එතකොට අර ලියකියවිලි?” රජතුමා බිඳුණු හඬින් ඇසුවේය. “ඔක්කොම ඉවරයි.”
“අපි බලමුකෝ.” හෝම්ස් කීය.
ඔහු සේවිකාව පසෙකට තල්ලු කරමින් නිවසේ ආලින්දයට දිව ගිය අතර, රජතුමා සහ මා ද ඔහු පසුපසින් ගියෙමු. ගෘහ භාණ්ඩ සෑම දිශාවකම විසිරී තිබුණු අතර, රාක්ක ගලවා දමා, ලාච්චු ඇද දමා තිබුණේ, ඇය පලා යාමට පෙර ඉතා හදිසියෙන් ඒවා අවුස්සා ඇති බවක් පෙන්වමිනි.
හෝම්ස් සීනුව නාද කරන රැහැන වෙත වේගයෙන් ගොස්, එහි වූ කුඩා ලිස්සන පියන පසෙකට කර, අත ඇතුළට දමා ඡායාරූපයක් සහ ලිපියක් එළියට ගත්තේය. එම ඡායාරූපය අයිරින් ඇඩ්ලර් රාත්‍රී සාදයකට අඳින ඇඳුමකින් සැරසී සිටින ඇගේම ඡායාරූපයක් වූ අතර, ලිපියේ පිටත “ෂර්ලොක් හෝම්ස් මහතා වෙතයි. පැමිණ ඉල්ලන තුරු තබා ගන්න.” යනුවෙන් ලියා තිබිණි.
Page 35
මගේ මිත්‍රයා වහා එය කඩා විවෘත කළ අතර, අපි තිදෙනාම එක්ව එය කියවූවෙමු. ඊට පෙර දින මධ්‍යම රාත්‍රියේ වේලාව සටහන් කර තිබූ එම ලිපියෙහි සඳහන් වූයේ මෙසේය:
මා හිතවත් ෂර්ලොක් හෝම්ස් මහත්මයාණෙනි,
ඔබ ඇත්තටම ඒ වැඩේ කළේ බොහොම අපූරුවටයි. ඔබ මාව සම්පූර්ණයෙන්ම රැවට්ටුවා. අර ගින්නක් බව කියන අනතුරු ඇඟවීම ඇසෙන තෙක්ම, මට ඔබ ගැන කිසිම සැකයක් හිතුණේ නැහැ. හැබැයි ඊට පස්සේ, මම මාවම පාවා දීපු බව තේරුම් ගත්තම, මම කල්පනා කරන්න පටන් ගත්තා.
මීට මාස ගණනාවකට කලින් කවුරුහරි මට ඔබ ගැන අනතුරු අඟවලා තිබුණා. රජතුමා මේකට නියෝජිතයෙක් යොදවනවා නම්, ඒ අනිවාර්යයෙන්ම ඔබ බව මට කියලා තිබුණා. ඔබේ ලිපිනය පවා මට ලැබිලා තිබුණා. ඒ ඔක්කොම දැනගෙන හිටියත්, ඔබට දැනගන්න ඕන වුණු දේ මගේ අතින්ම හෙළි කරගන්න ඔබ සමත් වුණා. මට සැක හිතුණට පස්සෙත්, මට හිතාගන්න බැරි වුණා අර වගේ කරුණාවන්ත මහලු පූජකතුමෙක් නරක කෙනෙක් වෙන්න පුළුවන් ද කියලා.
හැබැයි ඉතින් ඔබ දන්නවනේ, මමත් රඟපාන්න පුහුණු වුණු කෙනෙක්. පිරිමි ඇඳුම් අඳින එක මට අලුත් දෙයක් නෙවෙයි. ඒ ඇඳුමෙන් ලැබෙන නිදහසින් මම නිතරම ප්‍රයෝජන ගන්නවා. මම කරත්තකරු ජෝන්ව එව්වා ඔබ දිහා බලාගෙන ඉන්න කියලා. මම දුවලා උඩහට ගිහින් මගේ ‘ගමන් ඇඳුම්’ ඇදගෙන, ඔබ යනකොටම පහළට ආවා.
ඉතින් මම ඔබේ දොරකඩටම ඔබ පස්සෙන් ආවා. එතකොට මට සහතික කරගන්න පුළුවන් වුණා, මේ ප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් මහත්තයා ඇත්තටම මං ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ මම ටිකක් නොසැලකිලිමත් විදිහට ඔබට ‘සුබ රාත්‍රියක්’ ප්‍රාර්ථනා කරලා, මගේ සැමියා හමුවෙන්න ඉනර් ටෙම්පල් කාර්යාලයට ගියා.
ඔබ වගේ දරුණු ප්‍රතිවාදියෙක් පස්සෙන් එද්දී කරන්න තියෙන හොඳම දේ පලා යන එක බව අපි දෙන්නම තේරුම් ගත්තා. ඉතින් හෙට ඔබ එනකොට කුරුල්ලෝ නැති කූඩුවක් විතරක් දකින්න ලැබේවි. අර ඡායාරූපය ගැන නම් ඔබේ සේවාදායකයාට බය වෙන්න දෙයක් නෑ. ඔහුට වඩා හොඳ කෙනෙක් දැන් මට ආදරය කරනවා. මමත් ඔහුට ආදරය කරනවා. රජතුමා මට කොයිතරම් කෲර විදිහට සැළකුවත්, දැන් මගෙන් එතුමාට කිසිම බාධාවක් වෙන්නේ නෑ.
Page 36
මම ඒ ඡායාරූපය ළඟ තියාගන්නේ මගේ ආරක්ෂාවට විතරයි. කවදාහරි දවසක රජතුමා මට විරුද්ධව යම් පියවරක් ගත්තොත්, එදාට මාව ආරක්ෂා කරන ආයුධයක් විදිහට මම ඒක ළග තියාගන්නවා. රජතුමා ළඟ තියාගන්න කැමති වෙයි කියලා හිතුණු මගේ ඡායාරූපයක් මම මෙතන තියලා යනවා.
මෙයට ඉතාම විශ්වාසී,
අයිරින් නෝටන්. (විවාහයට පෙර ඇඩ්ලර්)
“මාර ගැහැනියක්නේ…” අප තිදෙනාම එක්ව එම ලිපිය කියවීමෙන් අනතුරුව බොහීමියාවේ රජතුමා හඬ නඟා පැවසීය. “මම ඔබට කිව්වනේ ඇය කොච්චර ඉක්මන් ද, කොච්චර අධිෂ්ඨානශීලී ද කියලා. ඇයට කොයි තරම් අගනා රැජිනක් වෙන්න තිබුණද? ඇය මගේ මට්ටමේ නොවුණ එක ලොකු අපරාධයක් නේද?”
“මට ඒ නෝනා ගැන දැකගන්න ලැබුණු දේවල් එක්ක බලද්දී නම්, ඇත්තටම ඇය ඉන්නේ ඔබතුමාට වඩා හාත්පසින්ම වෙනස් මට්ටමක.” හෝම්ස් ඉතා උදාසීන ස්වරයෙන් පැවසීය. “ඔබේ කාර්යය මීට වඩා සාර්ථක විදිහට ඉවර කරලා දෙන්න බැරි වුණ එක ගැන මම කණගාටු වෙනවා.”
“නැහැ නැහැ, මගේ හිතවත් මිත්‍රයා,” රජතුමා කෑගැසුවේය. “මේක උපරිම සාර්ථකයි. ඇය වචනයක් දුන්නොත් ඒක කවදාවත් කඩන්නේ නෑ කියලා මම දන්නවා. ඒ ඡායාරූපය දැන් හරියට ගින්නට දාලා පිච්චුවා වගේ ආරක්ෂිතයි. ආයේ ඒකෙන් කරදරයක් වෙන්නේ නෑ.”
“ඔබතුමා එහෙම කියන එක ගැන මට සතුටුයි.”
“මම ඔබට බෙහෙවින්ම ණය ගැතියි. කරුණාකරලා කියන්න මම ඔබට මොනවද තෑගි කරන්න ඕන කියලා. මේ මුද්ද…”
ඔහු තමාගේ ඇඟිල්ලේ තිබූ, මරකත මැණික් මුද්දක් ගලවා තම දෑත් මත තබා හෝම්ස් වෙත පෑවේය.
Page 37
“ඔබ වහන්සේ ළඟ තියෙනවා මම ඊටත් වඩා අගය කරන දෙයක්.” හෝම්ස් පැවසීය.
“ඔබට තියෙන්නේ නම කියන්න විතරයි.”
“මේ ඡායාරූපය.”
රජතුමා විස්මයෙන් ඔහු දෙස බලා සිටියේය.
“අයිරින්ගේ ඡායාරූපය!” ඔහු කෑගැසුවේය. “අනිවාර්යයෙන්ම, ඔබ කැමති නම් ගන්න.”
“බොහොම ස්තූතියි මහරජතුමනි. එහෙනම් මේ ගැන කරන්න තව දෙයක් ඉතුරු වෙලා නෑ. මම ගිහින් එන්නම්, ඔබට සුබ උදෑසනක්.”
ඔහු හිස නමා ආචාර කළේය. රජතුමා ඔහු වෙත දිගු කළ දෑත නොදුටුවාක් මෙන් ඉවත බලා ගත් ඔහු, මා ද සමඟින් ඔහුගේ නිවස බලා යාමට පිටත් විය.
බොහීමියානු රාජධානියට බලපෑමට ඉඩ තිබූ මහා ආන්දෝලනයක් නිමාවට පත් වූයේ එලෙසිනි. ෂර්ලොක් හෝම්ස්ගේ හොඳම සැලසුම් පවා කාන්තාවකගේ බුද්ධිය හමුවේ පරාජය වූයේ ද එලෙසිනි. කාන්තාවන්ගේ බුද්ධිය ගැන ඔහු විහිළු තහළු කිරීමට පුරුදුව සිටියද, මෑතක සිට ඔහු එසේ කරන බවක් මට අසන්නට ලැබුණේ නැත. ඔහු යම් විටෙක අයිරින් ඇඩ්ලර් ගැන කතා කරන්නේ ද, නැතහොත් ඇගේ ඡායාරූපය ගැන සඳහන් කරන්නේ ද, ඒ සෑම විටම ඔහු ඇයව හඳුන්වන්නේ ‘ඒ කාන්තාව’ (The Woman) යන ගෞරවනීය නාමයෙනි.
නිමි.

